March 29, 2024

කච්චතිව් දිව්‍යමංගල්‍යයට පන්දහසක් එයි

 

කච්චතිව් දූපතේ ඓතිහාසික දේවස්ථානයේ සාන්ත අන්තෝනි මුනිතුමන්ගේ දිව්‍යමංගල්‍යය වෙනුවෙන් අද (16) පෙරවරුවේ ආරම්භ වූ දිව්‍ය මෙහෙය සඳහා ඉන්දියානු හා ශ්‍රී ලාංකික බැතිමත්හු පන්දහසකට වැඩි පිරිසක් දූපතට එක් ව සිටි බව වාර්තා වේ.

 

සිංහල හා දමිළ කිතුනු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන මෙම ශාන්ත අන්තෝනි දේවස්‌ථානය යාපනය අගරදගුරුතුමා යටතේ ඩෙල්ෆ් දූපතේ කිතුනු දේවස්‌ථානය මඟින් පාලනය කෙරෙන අතර අද පෙරවරුවේ පැවති දේවමෙහෙය ඩෙල්ෆ් දූපතේ මීසම් පාලක අමල්රාජ් ඥානප්‍රකාසම් පියතුමා සහ රාමේෂ්වරම් මීසම් පාලක සහායරාජ් පියතුමා ඇතුළු ශ්‍රී ලාංකීය පූජක උතුමන් සහ ඉන්දීය පූජක උතුමන්ලා විසින් පවත්වන ලදහ.

මෙම දේවමෙහෙයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, යුද හමුදාපති මේජර් ජෙනරාල් දයා රත්නායක, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා, වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රවි විජේගුණවර්ධන, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්සලර් ආර්. රවීන්ද්‍ර, උතුරු නාවික විධානයේ ආඥාපති ආර්.ඒ. දිසානායක මහතා ඇතුළු නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද යාපනය දිසා විනිසුරු ආනන්ද රාජා සහ කයිට්ස් දිසා විනිසුරු සෙල්වනායගම් ලෙනින් මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් ද එක්ව සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුව පවසයි. 

අද උදෑසන වනවිට ඉන්දීය යාත්‍රා 95කින් ඉන්දීය බැතිමතුන් 3128 දෙනෙකු සහ යාත්‍රා 89කින් ශ්‍රී ලාංකේය බැතිමතුන් 2151 දෙනෙකු ද කච්චතිව් දූපතට පැමිණ සිටින බව නාවික හමුදාව පවසයි.

 

Rate this item
(0 votes)