March 24, 2019

උතුරේ ගං වතුරට සැබෑ හේතුව මෙයද ?

උතුරේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිව්, මන්නාරම ඇතුලු ප‍්‍රදේශ ගණනාවකට පසුගිය දෙසැම්බර් 22ක හා ඊට ආසන්න දිනවල වතුර ගැල්ම හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් තත්වයට පත් විය. දැනට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින් 75000ට ආසන්න පිරිසක් අවතැන් වී ඇති අතර ඔහුන්ගේ දේපල, ඇතමෙකුගේ ජීවිත හා ජීවත් වීමේ බලාපොරෝත්තු ද නැවත වරක් පහව යමින් ඇත.

වසර තිහක යුද්ධයෙන් බැට කෑ ජනතාව ජීවත්වීම උදෙසා අරගල කරමින් සිටින අතර 2009 වසරේ යුද්ධය බොහෝ මනුෂ්‍ය ඝාතන මැද අවසන් විය. යුද්ධය අවසන් කිරීමට ප‍්‍රධාන හේතුන් අතර එකක් වුයේ දෙදහස් එකොළහ වසර වන විට උතුරේ ඉඩම් නිදහස් කර ගැනීමට රජයට තිබූ උවමනාවයි. එයට හේතුව ද ඒ වන විට ලෝක බැංකු ආධාර මත කි‍්‍රයාත්මත කිරීම සදහා දැවැන්ත ව්‍යාපෘතියක් සකස් කරමින් තිබීමයි.

දෙදහස් එකෙළහ වර්ෂයේ කරලියට එන ජාතික භෞතික සැළස්ම දෙදහස් තිහ වන තුරු රටවල් තිස් හයක ආධාර මත ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණු අතර දැනට දකුණේ සිදුවන වන අධිවේගී මාර්ග ‘මහා නගර’ සැදීම සදහා සැළසුම් කර තිබුනු ආකාරයට, උතුරේ ඉඩම් ද ලබාගත යුතුව තිබුන නිසා යුද්ධය නිමා කරන ලදි.

යුද්ධය නිමාවන විට මැණික් ෆාම් කදුවුරේ පමණක් අක්කර හත්සියයක භූමි ප‍්‍රමාණයක දෙළක්ෂ විසිපන්දහසක් පමණ ජනතාවක් සිටි අතර ඒ වන විට එය ලොව විශාලතම IDPs කදවුර ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN OCHA 2009) හදුන්වන ලදි. එම කදවුරේ ජීවත් වූ බොහෝ දෙනෙකුගේ වගා බිම් හා ඉඩම් ඔවුන්ට, යුද්ධය නිසා අහමි වී තිබු අතර යුද්ධයෙන් පසුව ඔහුන්ට නැවත පදිංචි කිරීම් කල යුතුව තිබිනි.

ආරථික හා ආරක්ෂක කළාප

උතුරේ යුද්ධය නිසා ඉඩමි අහිමි වූ ජනතාවට තමන් ජිවත් වූ පුරාණ ඉඩම් ලබා දෙන ලෙස සිදුකළ, ඔහුන්ගේ ඉල්ලීම යටපත් කරමින් බොහෝ දෙනෙකුට ඉඩම් ලැබුනේ ජනතා කැමැත්ත මත නොව රජයේ කැමැත්ත අනුවය. නැවත පදිංචි කිරීම්වලදි රජය දමිළ ජනතාව පදිංචි කරනු ලැබුවෙත්, ඉදිරියට සිදුකරන්නේත් ජාතික භෞතික සැළසුමට අවශ්‍ය ඉඩම් නිදහස් කර ගනිමිනි.

2017 අපේ‍්‍රල් 29වන දිනට පෙර ඉඩම් ලබාදෙන ලෙස රජයට බලකරමින් උතුරේ ජනතාව විටින් විට උද්ඝෝෂන දියත් කල අතර නැවත පදිංචි කිරීමේ අමාත්‍යශය ද හින්දු පුවත් පතට කියා සිටියේ අක්කර 70000ක් මේ වන විට නැවත පදිංචි කිරීම් සදහා නිදහස් කර ඇති බවයි. නමුත් මෙම අක්කර හැත්තෑ දහස ඔහුන් සතු වු පාරම්පරික ඉඩම් නොවූ අතර, උතුරේ කැලෑ ‘වන භූමි’ විශාල ප‍්‍රමාණයක් විනාශ කරමින් නැවත පදිංචි කිරීම් කරන ලද අතර, උතුරේ නගර වලට ආසන්න ජනතාව සතු බොහෝ ඉඩම් රජයේ ආරක්ෂක කළාප හා බහු ජාතික සමාගම්වල කෘෂිකර්ම ව්‍යාපෘති සදහා ලබාදෙන ලදි.

ආරක්ෂක හා ආර්ථික කළාප වෙනුවෙන් ඉඩම් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට උතුරේ වනාන්තර ඉඩම් අක්කර 100000ට වැඩි ප‍්‍රමාණයක් එළි පෙහෙළි කර ඇත. පළාලි අධි ආරක්ෂිත කළාපයට පමණක් වනාන්තර ඉඩම් අක්කර 1000ක් පමණ ලබාගෙන ඇත.

යුද්ධය පැවති කාලයේ දැවැන්ත වනාන්තර ලෙස තිබූ ඉඩම් හෙළි කර ආරක්ෂක හා ආර්ථික කටයුතු සදහා භාවිතා කිරීම උතුරේ ජනතාව ගං වතුරෙන් දැඩිව පිඩා විදිමට හේතුවක් විය.

වනාන්තරයක් නිරන්තරයෙන්ම බාදකයක් ලෙසත්, ජලය උරාගන්නා භූමියක් ලෙසත් ක‍්‍රියා කරයි. නමුත් එම භුමි නොමැති වීමත් කිසිදු පාරිසරික භාවිතයන් හා අවබෝධයන්ගෙන් තොරව නැවත පදිචි කිරීම් සිදුකිරීමත් උතුරේ ගංවතුරේ බලපෑම දෙගුණ, තෙගුණ කිරීමට හෙතු විය.

පුරාණ කාලයේ සිටි ජනතාව මෙම ප‍්‍රදේශ වල පදිංචිව සිටියේ මෙම තත්වයන් හොදින් අවබෝධ කර ගනිමින්. එම නිසා ජනතාවට තමන් සතු විය යුතු පාරම්පරික ඉඩම් ලබාදුන්නේ නම් මෙම ගංවතුර තත්වයන්ගෙන් වන හානිය අවම කරගැනීමට හැකියාවක් තිබිනි.

මක් නිසාදයත් උතුරු ප‍්‍රදේශය යනු මාහා පිටාර ගලන ගංගාවන්ගෙන් ද, මහා කදු පන්ති වලින් ද තොර වූ ප‍්‍රදේශයකි. එම නිසා උතුරේ නිසි ඉඩම් හා වනාන්තර කළමණාකරනයක් තිබුනේ නම් අද දවසේ උතුරේ ජනතාවට මෙම තත්වය උදානොවනු ඇත.

යුද්ධයෙන් විනාශ වි ගිය වැව් හා පොකුණු රාශියක් උතුරේ ඇත. නැවැත පදිංචි කිරීම්වලදී, ආරක්ෂක කළාප හා ආර්ථික කලාප සදහා ඉඩම් ලබාදීමේ දී, කැලෑ ඉඩම් ලබාගන ඒවා විනාශ කරන විට හෝ උතුරේ වාරි පද්ධති හා ජල මුලාශයන් සමිබන්ධව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැත. එම නිසාම උතුරේ වාරි පද්ධතිය හා පොකුණු විශාල සංඛ්‍යාවක් විනාශ මුඛයට යමින් ඇත. වැසි කාලයේ දි ජලය උරාගැනීමට ඇති බිම් වෙනත් කටයුතුවලට භාවිතා කිරීම, ඒවා විනාශ වීමට ඉඩ හැරීම නිසා ගොවි ජනතාවට මෙන්ම අන් අයටත් භාවිතයට ගත හැකි ජලය එක් වී උතුරේ වැසි වතුර ‘ගංවතුරක්’ බවට පරිවර්ථනය කර තිබේ.

උතුරු පලාත ගත් විට කළිනොච්චි ප‍්‍රදේශයේ වර්ග කිලොමිටර් 72ක පමණ මතුපිට ජලය රදන බිම් ඇත. එය මුලතිව් ප‍්‍රදේශයේ වර්ග කිලෝමිටර් 200ක පමණ වන අතර වව්නියාවේ 110 හා මන්නාරමේ 120 වැඩි ප‍්‍රමාණයක් ලෙස දැනට ඉතිරි වි ඇත. එහෙත් මෙම බිම් ද පිටරට ව්‍යාපාරවලට මෙන්ම ජාතික භෞතික සැළසුමේ සැළසුම් ව්‍යාප්ත කිරීම සදහා රජය විටින් විට භාවිතා කරමින් සිටි. එහි ප‍්‍රතිපලයක් ලෙස ගංවතුර තත්වයක් ඇතිවීම අහබු කාරණයක් නොවේ.

ඉරණමඩු ජලාශ‍ය, පහළ මල්වතු ඔය වැඩ බිම හා උතුරු මැද වාරි ඇළ

උතුරේ ප‍්‍රධානම ජල මුලාශ‍්‍රයක් ලෙස සැළකෙන ඉරණමඩු ජලාශය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2017 වර්ෂයේ ය. 2017 දෙසැම්බර් 22ක වන විට එහි පස් දමා වැව් බැම්ම ඉස්සීම හා රළපනාව සැකසීම ආරම්භ කර තිබිණි. මෙම වැව් බැම්ම පස් දමා ඉස්සිමට, වැව පුළුල් කිරීමට හේතු වුයේ වැඩි ජල ධාරිතාවක් තබා ගැනීමේ අරමුණ හා කළු ගග හරහා මෙරගහකන්ද ජලාශවලින් නිර්මාණය කිරීමට නියමිත උතුරු මැද වාරි ඇළ ඔස්සේ ගෙනෙන ජලය රදවා තබා ගැනීමටය.

එම නිසාම වැව් තාවුල්ලේ තිබු වනාන්තර විනාශ කර දමා වැව් බැම්ම සාදන ලදි. 2018 දෙසැම්බර් හා නොවැම්බර් මාස වල දී ඉරණමඩු ජලාශයට එක්රැස් වූ විශාල ජල ප්‍රමාණය නිසා ඉරණමඩු ජලාශයේ 2017 වර්ෂයේ නිර්මාණය කල බැම්ම විනාශ වී යාමේ අවධානමක් තිබූ අතර, එසේ වූවා නම් එය මෙය උමා ඔය ව්‍යාපෘතිය මෙන් රජයේ වැරදි ගොඩට වැටීමට ඉඩ තිබිණි. ඒ හේතුවෙන් ඉරණමඩු ජාලාශයේ සැලකිය යුතු ජල ප‍්‍රමාණයක් වාන් දෙරටු ඔස්සේ නිදහස් කර තිබූ අතර එ්වා ද ගංවතුර බවට පත්විය.

මේ වන විට මොරගහකන්ද හා කලූ ගග ජලාශවල ජලය පුරවා ඒම ජලය උතුරට හැරවීමේ උතුරුමැද වාරි ඇළ ව්‍යාපෘතිය රජය විසින් සිදු කරමින් ඇත. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ රජය විසින් සමාගම් සතු කරන ඉඩම් හා බහු ජාතික සමාගම් විසින් ආරථික බෝග වගාකරන ඉඩම් සදහා ජලය ලබාදීමයි. මෙම ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලා උතුරේ ජනතාව 2018 වර්ෂයේ උද්ඝොෂණ ගණනාවක් දියත් කරන ලදි. පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය හා මෙම සමස්ථ චීන ව්‍යාපෘතියේ එක් අරමුණක් ලෙස ඔහුන් සදහන් කරන්නේ උතුරු මැද වාරි අළ ව්‍යාපාතියේ කෙටසක් ලෙස ඉදිවන පහළ මල් වතු ඔය ව්‍යාපාතිය හා මෙම සමස්ථ ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනය කළ හැකි නිසා මෙම ව්‍යාපෘතිය ඉදිකල යුතු බවයි.

උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය නවතන ලෙස උද්ඝෝෂණය කල හා එයට විරුද්ධ වූ ජනතාවට දෙන්නට උත්තරයක් මෙම ගංවතුර සමග රජයට දැන් ඇත. ඒ ඉරණමඩු ජලාශයේ නිදහස් කල වතුර, වැවි, පොකුණු විනාශ කිරීම හා කැළැ එළි කිරීමත් නිසා ගැලූ වතුර පාලනය කිරීමට නම් තවත් වැව් දහසක් පෞද්ගලීකරණය කරමින් බහු ජාතික සමාගම් වල ජල අවශ්‍යතාවය ඉටු කිරීම වෙනුවෙන් නොකියා ගංවතුර පාලනයට උතුරු මැද වාරි ඇළ ඉදිකළ යුතු බවයි.

නමුත් මෙය ස්භාවික ගං වතුරකට වඩා වැඩි යමක් බව ඉරණමඩු ජලාශයේ සිදුවීමෙන් හොදින් පැහැදිලි වන බව අමුතුවෙන් කිව යුුතු නොවේ. උතුරේ හෝ දකුණේ මිය යන්නේ අපගේ මිනිසුන්ය. මහා සංවර්ධන ව්‍යාපෘති අපට ඉතිරි කරන්නේද එයයි. එම නිසා 2018 ගැලූ ගංවතුර ඉරණමඩු ඔස්සේ ඉදිරියටත් ගැලීමට නියමිත වග මතක තබා ගමු.

 රවීන්ද්‍ර කාරියවසම් | Ravindra Kariyawasam

Rate this item
(0 votes)
Last modified on Friday, 04 January 2019 15:24