September 26, 2020

ඕෂධීලාට බැරිද?

මීට වසර දහසයකට පමණ පෙර මා විසින් මුල් පිටුව රූපවාහිනී වැඩසටහන ආරම්භ කළ අවදියේ සොඳුරු යුවතියක් මා හමුවන්නට පැමිණියාය. ඇයට උවමනා වී තිබුණේ මුල් පිටුවේ නිවේදිකාව වන්නටය. ඇය පාසල් අවධිය හමාර කළා පමණක් විය යුතු යයි මට සිතුණි. ඇය ගැන පැහැදුණු මම ඇයව වැසටහන සඳහා තෝරා ගත්තෙමි. මේ යුවතිය දින කිහිපයක්ම පුහුණුවීම් සඳහා පැමිණියාය. ඒ අතර ඇයට ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක රඟපෑම සඳහා අවස්ථාව ලැබුණාය. නිවේදිකාවක වීමේ අදහස වෙනස් කරගත් ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුනාය. ඒ යුවතිය ඕෂධී හේවාමද්දුමගේය. වරක් දෙවරක් දුරකථනයෙන් කතා කිරීම හැරෙන්නට ඉන් පසු මට ඇය මුණ ගැසුනේ නැත. ඕෂධී ජනප්‍රිය තාරකාවක් වෙද්දී පවා ක්ෂේත්‍රයේ අනෙක් බොහෝ නිළියන්ට හැදෙන කට කතා ඇයට හැදුනේ නැත. ඇය දෙදරු මවක් වී යහපත් ජීවිතයක් ගත කරන බව දැන ගන්නට ලැබුණි.

ඊළාම් යුද්ධයේ මිනිස් ජීවිත විනාශය ඇයගේ සිතුම්පැතුම් වෙනස් කරවන්නට සමත් විය. යුද්ධයේ දරුණුතම යුගයක රූපවාහිනී කණ්ඩායමක් සමග යුද පෙරමුණට යන්නට ඇයට අවස්ථාව ලැබුණි. ඔවුන් සමග යුද පෙරමුණේ ඉදිරි වළල්ලටම ගිය ඕෂධී ආපසු පැමිණියේ මහත් වේදනාවකිනි. පෙරමුණේ යුද භටයන්ගේ කැපවීම ඇයට තදින් දැනී තිබුණි. යාපනයේ සිට රත්මලානට පැමිණි ගුවන් යානයේ රණවිරු මළ සිරුරු කිහිපයක් ගෙන එන්නට සිදුවීම ඇගේ දෑසට කඳුළක් නැංවීමට සමත් විය.

රට වෙනුවෙන් යමක් කළ යුතු බව ඇය සිතාගත්තාය. රටේ අනාගතය රැඳී පවතින්නේ ත්‍රස්තවාදයෙන් රට මුදාගත් ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ බව තේරුම් ගන්නට ඇයට හැකිවිය. ඒ කාලයේ සිටම දේශපාලනයට සම්බන්ධ වුවද බොහෝ දෙනෙකුට ඇය කැපී පෙනෙන ලෙස දැක ගන්නට ලැබුණේ ජනපති මහින්දගේ පරාජයෙන් පසුවය. ඇය ඔහුගේ රැස්වීම්වටල සහභාගි වන ආකාරය දැක ගන්නට ලැබුණි. ලබන මහ මැතිවරණයේ දී ඇය පොහොට්ටුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග වදින්නට බලාපොරොත්තුව සිටින්නීය.

ඕෂධී පමණක් නොව ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක්ම ඉදිරි මැතිවරණයේ දී තරග කරන්නට සූදානම් වෙති. ඕෂධී ගැන කතා කරමින් මේ ලිපිය අරඹන්නේ වුවද, මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය නළු නිළියන් පිරිසක් පාර්ලිමේන්තුවට යාමට දක්වන උනන්දුව පිළිබඳව ඇති වී තිබෙන කතාබහ ගැන සටහනක් තැබීමය. මෙවර පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ උගතුන්, බුද්ධිමතුන් හා වෘත්තිකයන් පමණක්ය යන මතයක් සමාජයේ ගොඩනැගෙමින් පවතී. පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු බොහෝ මන්ත්‍රීවරුන් වංචනිකයන්, දූෂිතයන් මැරයන් සොරුන්, කසිප්පුකරුවන්, කුඩුකාරයන් වැනි නූගත් ජඩ දේශපාලනඥයන් බව සමාජයේ පිළිගැනීමයි. කුණුහරුප, ගාලගෝට්ටි කුළල් කා ගැනීම් වලින් තොර පාර්ලිමේන්තු සබා ගැබක් දැකගන්නට නම් විද්වත් දේශපාලකයන් පමණක් තෝරා පත්කර ගත යුතු බව සමාජ සිතුම් පැතුම්වලට එක් වී තිබේ.

නළු නිළියන් ඡන්දය ඉල්ලන්නට සැරසීම පිළිබඳ විවේචන එල්ලවන්නට පටන්ගෙන ඇත්තේ මෙවැනි පසුබිමක් යටතේය. විශේෂයෙන්ම සමාජ ජාල මාධ්‍යවල මේ පිළිබඳ උපහාසාත්මක මෙන්ම අපහාසාත්මක අදහස්ද ප​ළවෙමින් තිබේ. බලාපොරොත්තු විය හැකි ආකාරයෙන්ම ඒවා වැඩි කොටස මඩ ප්‍රහාරවල්ය. නළු නිළියන්ගේ හැඩරුව ඔවුන්ගේ චරිත අලලා කෙරෙන ප්‍රහාරයන්ය. ඔවුන් වැඩි දෙනා සිතන්නේ නළු නිළියන් සීනි බෝල චරිත හා මෝඩයන් බවය. සමහරුන්ට එසේ සිතෙන්නට සාධාරණ හේතු ඇති බවද පෙන්වා දිය යුතුය. කරු ජයසූරිය ද අභිබවා වැඩි මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට ආ පබා තමන්ගේ දේශපාලන නොදැනුවත්කම ප්‍රදර්ශනය කොට සමච්චලයට ලක් වූ අාකාරය තවමත් මිනිසුන්ට මතක තිබේ. ‘වන්ෂොට්’ නළු චරිතය දේශපාලනයේ ද රඟපාන්නට ආ රන්ජන් රාමනායක ද දැන් විහිළුවක් බවට පත්ව තිබේ. එහෙත් සමස්ත නළු නිළි පරපුර සඳහා ඔවුන්​ දෙදෙනා ආදර්ශයට ගැනීම වැරදි බව පෙන්වා දිය යුතුය. සමාජ ජාලා ක්‍රියාකාරීන් පමණක් නොව දැන් වෙනත් කොටස් ද විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ. සමහර දේශපාලකයෝ ද නළු නිළියන් තරගබිමට පිවිසීම පිළිබඳ විරෝධය දක්වති. ඔවුන් එසේ කරන්නේ ප්‍රතිපත්ති අනුව නොව තමන්ට වඩා ජනප්‍රිය දේශපාලකයන් බිහිවීම පිළිබඳ දක්වන බිය නිසා බවට සැකයක් නැත. සමහර විද්වත්තු ද නළු නිළියන්ට විවේචන එල්ල කරති. මේ ලියුම්කරුගේ අවධානය යොමු වූ විවේචකයන් අතර කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක්ම සිටිති. ඔවුන්ගේ විවේචනාත්මක අදහස් යූ ටියුබ් මගින් ප්‍රචාරය වීම නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරේ ඒවා සමාජගත වනු ඇත.

මේ සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මෝඩ නළු නිළියන් අප රටේ දේශපාලනයට ලබා දී ඇති දායකත්වය පිළිබඳ කරුණු කිහිපයක් ගෙන හැර දක්වන්නෙමි. 1970 සිරිමා බණ්ඩාරණායක රජය පිහිටුවීමට මෙරට නළු නිළියෝ වැඩි දෙනෙක් රට පුරා රැස්වීම් පැවැත්වූහ.

මැතිණියගේ ජයග්‍රහණයෙන් පසු ඔවුන් ඉල්ලා සිටියේ දකුණු ඉන්දියානු සිනමා ග්‍රහණයට කොටු වී සිටි සිංහල සිනමාව බේරා දෙන ලෙසය. ජාතික චිත්‍රපට සංස්ථාව බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එම යුගයේ පටන්ම දේශපාලන වේදිකාවල නළු නිළියන් දැක ගන්නට හැකි විය. ඔවුන් අතරින් ජනප්‍රියත්වය විකිණීම සඳහා දේශපාලන වේදිකාවට ගොඩ වූ අය මෙන්ම ප්‍රතිපත්ති මත පිහිටීමෙන් වේදිකාවට ගොඩවූ අය ද සිටි බව කිව යුතුව තිබේ. ඒ අතරින් කැපී පෙනෙන චරිත දෙකක් ලෙස ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග හඳුන්වා දෙන්නට පුළුවන. ආරම්භයේ සිටම එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ගාමිණී පාර්ලිමේන්තුවට පිවිසියේ මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත් මන්ත්‍රීවරයා ලෙසය. ඔහු අවුරුදු කිහිපයක්ම නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කළේය. පසුව ඔහු චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ දී උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ද දැරුවේය. මෙරට බිහි වූ ජනප්‍රියතම සිනමා නළුවා වූ විජය කුමාරතුංග වාමාංශක බලවේග එක්තැන් කිරීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩ නැගුවේය. ​ විජයට කිසි දිනෙක පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට නොහැකි විය.

නළු නිළියන්, පොදු ජනතාවගේ ආදරය දිනාගනිමින් ජනප්‍රියත්වයට පත්වීම දේශපාලනඥයන්ට දරාගත නොහැකි බව ඔප්පු කරන්න විජය හොඳ උදාහරණයකි. ශ්‍රී ලංකා දේශපාලනයේ සිටි ඉහළම පෙළේ බුද්ධිමතකු ලෙස සමහරුන් පිළිගන්නා ජේ. ආර්. ජයවර්ධන, දේශපාලනයට පිවිසි විජය කුමාරතුංගයන් සිරගත කළේ නැක්සලයිට් කල්ලිය නම් වූ බොරු චෝදනා මතය. ඉන්පසු විජය මහර අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ විට ජේ. ආර්. ට අවශ්‍ය වූයේ විජය පරාජය කොට ඔහු පාර්ලිමේන්තුවට ඒම වැළැක්වීමටය. මහර ආසනයේ ඡන්ද ගණන් කිරී‍මේදී විජය ජයග්‍රහණය කොට තිබුණි. ප්‍රතිඵල නිකුත් වීමට පෙර ඒ බව ජනපති ජේ. ආර්.ට දන්වන ලදී. ජේ. ආර්. දුන් උපදෙස නම් විජය පරාජය වන තෙක් ඡන්ද ගණන් කරන ලෙසය. අන්තිමට විජය පරාජය වූ බව ප්‍රකාශයට පත්විය. ඔහුට කිසිදා පාර්ලිමේන්තු යන්නට බැරි විය.

නළු වෘත්තියෙන් දේශපාලනයට පිවිස අනෙක් ප්‍රධාන චරිත දෙක වන්නේ රවීන්ද්‍ර රන්දෙණිය හා මාලනී ෆොන්සේකාය. මනාප බලු පොරයට මැදිවීමට අකමැති වූ රවීන්ද්‍ර පාර්ලිමේන්තු යෑමේ අදහස අත්හැරියේය. 2010 මැතිවරණයෙන් පසු මාලනී මන්ත්‍රීධුරයට පත්වූයේ ජාතික ලැයිස්තුවෙනි. එම පත්වීම දේශපාලනයේ දී නළු නිළි දායකත්වයේ වටිනාකම හඳුනාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා​ගේ තීරණයකි. 2010 මැතිවරණයට පෙර පැවති පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි මාලනීට අදහසක් තිබුණි. මහින්ද චින්තන වැඩපිළිවෙළ ගැන ඇය තුළ තිබුණේ විශාල පැහැදීමකි. තම අදහස් ගැන කතා කිරීමට ජනපති හමුවන්නට ඇයට ඕනෑ විය. ඒ සඳහා වේලාවක් ලබාගෙන ජනාධිපතිවරයා හමුවන්නට යෑම සඳහා මාලනී මට කතා කළාය. සන්දෑවක අරලියගහ මන්දිරයට ගිය අපි දෙදෙනා බොහෝ වේලාවක් ජනපති සමග සාමීචියේ යෙදුනෙමු.

‘‘මාලනී ඔයා ඉන්න ඕනෑ පළාත් සභාවක නෙවෙයි. පාර්ලිමේන්තුවෙයි. ඒ නිසා මහ මැතිවරණයට එන්න’’

ජනපති මාලනීට කීවේය.

‘‘මහ මැතිවරණයට විදයම් කරන්න තරම් මුදලක් මා ළඟ නැහැ. ’’ මාලනී කීවාය.

‘‘ කෝ මෙච්චරකල් හොයපු සල්ලි’’ කියා විහිළුවක් ද කළ ජනාධිපතිවරයා මෙසේ කීවේය.

‘‘ඔව් ඔයා ඡන්දෙ ඉල්ලුවොත් මනාප පොරයට ඔයාටත් වැටෙන්න වෙනවා. ඒක ඔයා වගේ කෙනෙකුට වටින දෙයක් නෙමෙයි. මම ඔයාව ජාතික ලැයිස්තුවට ඇතුල් කරන්නම්. පාර්ලිමේන්තුවට ඇවිත් කලාවට සේවයක් කරන්න ඔයාට පුළුවන් වේවි.’’

මැතිවරණය ජයග්‍රහණය කොට ජාතික ලැයිස්තුව සකස් කරන්නට ගිය විට මාලනී වෙනුවට දේශපාලනඥයකු පත් කළ යුතු යැයි ජනපති වටා සිටි බොහෝ දෙනෙක් තර්ක කළහ. පොදු ජන ගැස්ම හඳුනන ජනතා ආදරය දිනූ ඇය වැනි කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුය යන මතයේම ජනාධිපතිවරයා එල්බ ගෙන සිටි බැවින් මාලනී පාර්ලමේන්තුවට ගියාය.

නළු නිළියන් පිළිබඳ අවමානයෙන් සිතන පිරිස ජාත්‍යන්තර දේශපාලනයේ නළු නිළි දායකත්වය පිළිබඳ විමසා දැන සිටිය යුතුය. ඒ සඳහා හොඳම උදාහරණය පෙන්විය හැක්කේ දකුණු ඉන්දියාවෙනි. එම්. ජී. රාමචන්ද්‍රන් හා ජය ලලිතා සුපිරි නළු නිළි යුවළක් වූ අතර දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු මහ ඇමති ධුරවලට පත් වූහ. එම්. ජේ. ආර්. දකුණු ඉන්දියානු දුප්පතුන්ගේ දෙවියා ලෙස සලකනු ලැබීය. ඔහු, ඔවුන්ට කළ සේවය වෙනුවෙන් අදද ගෞරව සැමරුම් ලබන්නේය. බටහිර රටවල ද නළු නිළියෝ දේශපාලනයට පිවිසෙති. දෙවන පන්තියේ හොලිවුඩ් චිත්‍රපටවල රඟ පෑ රොනල්ඩ් රේගන් වරක් නොව දෙවරක්ම ඇමරිකානු ජනාධිපති ධුරයට පත්විය.

යුක්රේනයේ වර්තමාන ජනාධිපතිවරයා එරට සුපිරි නළුවෙකු බව දැනගන්නට ලැබීම සමහරුන්ගේ මවිතයට හේතුවක් වන්නට ද පුළුවන. පසුගිය අවුරුද්දේ ජනාධිපති ධුරයට පත්වන්නට පෙර ඔහු ජනතාවගේ සේවකයා නම් වූ ටෙලිනාටක මාලාවක ප්‍රධාන චරිතය රඟපාමින් අතිශය ජනාදරයට පත්විය. ඔහු ව්ලැඩ්මියර් සොලන්ස්කිය. අපූරුම දෙය නම් 2015 සිට 2019 දක්වා යුක්රේන රූපවාහිනී නාළිකාවක විකාශනය වූ මේ නාටක මාලාවේ සොලන්ස්කි රඟපෑවේ ජනාධිපතිවරයෙකු ගේ චරිතය වීමය.

දේශපාලනයට පිවිසෙන අපේ නළු නිළියන් අතරින් රේගන් කෙනෙක්, එම්. ජී. ආර්. කෙනෙක් හෝ සොලන්ස්කි කෙනෙක් බලාපොරොත්තු විය නොහැකි වන්නට පුළුවන. එහෙත් ඉන්දියානු රාජ්‍ය සභාවේ සිටින නිළියක් වන ජයා බහාදුරී බච්චන් වැනි කෙනෙකු බිහිවුණොත් සතුටට පත්විය හැකි බව මට සිතේ. සිව් වතාවක්ම රාජ්‍ය සභාවට තේරී පත් වූ ජයා බච්චන් සුපිරි තරුවක් වන අතරම සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ බිරිඳ ද වන්නීය. සමාජවාදී දේශපාලන පක්ෂය නියෝජනය කරන ජයා පසුගිය දා රාජ්‍ය සභාව අමතමින් කළ කතාව බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය. තෙලඟනා ප්‍රාන්තයේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට ඝාතනය කළ වරදකරුවන්ට​ දඬුවම් දීම පමා කරන්නේ ඇයි දැයි ඇය දැඩි හඬකින් ප්‍රශ්න කළාය. රටේ අහිංසක කාන්තාවන් රැකගන්නට ඉදිරිපත් නොවන රජයකින් ඇති ඵලය කුමක්දැයි ජයා ප්‍රශ්න කළාය. ඇයගේ කතාවෙන් දෙසතියකට පමණ පසු ස්ත්‍රී දූෂකයන් සිව්දෙනා එල්ලා මරනු ලැබීය.

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ විද්වතුන් පමණක්ම නොවේ. පොදු ජන හද ගැස්ම වටහා ගත හැකි ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන මිනිස්සුද පාර්ලිමේන්තුවේ සිටිය යුතුය. අනෙක් සමහරුන්ට වඩා ඒ සුදුසුකම නළු නිළියන් ඇතුළු කලාකරුවන්ට ඇති බව සටහන් කරමින් මේ ලිපිය අවසන් කරන්නෙමි.

- බන්දුල පද්මකුමාර -

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 March 2020 13:15

Live