September 25, 2020

මස් රාත්තලම නොඉල්ලා ශී‍්‍ර ලංකා තායේ ගීයටත් ඉඩ දෙමු

අපේ ජාතික ගීතය නිසා මහාචාර්ය සුනිල් ආරියරත්න, ගුරු පණ්ඩිත් අමරදේව, රෝහණ වීරසිංහ, නන්දා මාලනී, තිලකරත්න කුරුවිට බණ්ඩාර ඇතුළු අප කිහිප දෙනෙකු මහත් කම්පනයට හා පීඩාවට ලක් වූ සිද්ධියක් ඇතිවිය. ඒ 2001 වසරේදීය. එවකට මම රනිල් වික‍්‍රමසිංහ රජය යටතේ ලේක්හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කළෙමි. අපේ රටේ සිටින විශිෂ්ඨ ගායක ගායිකාවන් ලවා ගයනා කෙරෙන අපේ ජාතික ගීතය උසස් ප‍්‍රමිතියකින්, නවීන ශබ්දාගාරයක තැටි ගත කළ යුතු යයි මට සිතුනි. එවැනි පටිගත කිරීමක් සී.ඩී. හා ඩී.වී.ඩී තැටිවලට ඇතුළත් කරනු ලැබුවහොත් එය බොහෝ දෙනාට ප‍්‍රයෝජනවත් වන නිෂ්පාදනයක් වනු ඇත. එදා, එනම් මීට දහ අට වසරකට පෙර ප‍්‍රමිතිගතව තැටිගත කරනු ලැබූ ජාතික ගීයක පිටපතක් තිබුනේ නැත. පනහ දශකයේදී ආනන්ද සමරකොන් සූරීන් විසින් ගායන ලද මුල් ජාතික ගීයේ ග‍්‍රැමපෝන් තැටියක් නම් තිබුණි. වසර පනහකට පසු එයින් පිටපතක් සොයා ගැනීම අපහසු කරුණක් විය.

බොහෝ විට ජාතික ගීය අපට ඇසෙන්නේ විවිධ ලය හා තාල වලට අනුව විවිධාකාරයෙනි. සමහර අවස්ථාවල පාසැල් හා වෙනත් උත්සව අවස්ථාවලදී ජාතික ගීතය වාදනය සඳහා යොදා ගන්නා සර්පිනාව ස්වර හා ශ‍්‍රැති විකෘති වු එකක් බව රෝහණ මා සමග කීවේය.

අපගේ නිෂ්පාදනය ජාතික උත්සවවලදී, විදේශයන්හි දී හෝ වෙනත්  ඕනෑම උත්සවයකදී  ඕනෑම කෙනෙකුට නිවැරදිව පාවිච්චි කළ හැකි ස්ටීරියෝ තාක්‍ෂණයෙන් පටිගත කිරීම අපගේ අරමුණ විය.

පටිගත කිරීම පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න, ගුරු පණ්ඩිත් අමරදේවයන් ප‍්‍රමුඛ විද්වතුන් රැසක් සමග සාකච්ජා කරනු ලැබීය. ලේක් හවුස් ආයතනයේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලය නිෂ්පාදන වියදම් දැරීමට එකග විය. සංගීතය මෙහෙය වීම සංගීතවේදී රෝහණ වීරසිංහයන්ට භාර විය. ක්‍ෂේත‍්‍රයේ විවිධ සංගීත කුලක නියෝජනය වන අකාරයෙන්ද විවිධ ජාති ආගම් නියෝජනය වන ආකාරයෙන්ද, ප‍්‍රවීණයන් මෙන්ම තරුණ ගායක ගායිකාවන් නියෝජනය කරමින්ද අපගේ පටිගත කිරීමට එක්වන ලෙස සියළු කලාකරුවන්ට ආරාධනා කරන ලදි.

රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ, ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළේ කරූ ජයසූරියයි. ඊළග නිදහස් උත්සවයේ සංවිධාන කටයුතු භාර වී තිබුනේ ඔහුටය. අපගේ ගීත නිෂ්පාදනයේ සැලසුම ගැන ඔහුට කීවෙමි. සාමාන්‍යයෙන් නිදහස් දිනය දා ජාතික ගීය ගායනා කරන්නේ පාසැල් සිසු සිසුවියන් කණ්ඩායමකි. නමුත් එය වෙනස්කොට එදින උත්සවයේදී සංගීත ක්‍ෂේත‍්‍රයේ, ගායක ගායිකාවන් ලවා ජාතික ගීතය ගායනා කරවන්නට ඔහු කැමති විය.

පටිගත කිරීමේ දිනය උදා විය. ප‍්‍රථමයෙන් පටිගත කරන ලද්දේ නාවික හමුදා වාද්‍ය වෘන්දය යොදා කෙරුනු පටිගත කිරීමකි. ඒ බටහිර සංගීත භාණ්ඩ යොදාගෙන ජාතික ගීය ගායනා කරන අවස්ථා වලදී යොදා ගැනීමටය. මට මතක හැටියට නාවික හමුදා වාද්‍ය වෘන්දයේ හතලිස් දෙනෙකුගෙන් යුත් වාදකයන් පිරිසක් එයට එකතු විය. ඉන්පසු දේශීය සංගීත භාණ්ඩ ආදිය යොදා ගනිමින් කරන පටිගත කිරීම සිදුවිය.

ඊළග දිනයේ ශබ්දාගාරය වෙන්කොට තිබුණේ ගායක ගායිකාවන්ගේ ගායනා පටිගත කිරීම සඳහා ය. උදෑසනම ශබ්දාගාරයට පැමිණි රෝහණට හා මහාචාර්ය ආරියරත්නට කිසියම් වෙනසක් දැණුනි කලින් වේලාව වෙන් කරගත් ගායන ශිල්පීන් ශිල්පිනියන් බොහෝදෙනෙක් නොපැමිණෙන බවක් ඔවුන්ට ආරංචි විය.

පෙරදින රාතී‍්‍රයේ සංගීත ක්‍ෂේත‍්‍රයේම කිසියම් කණ්ඩායමක් අපගේ පටිගත කිරීම් කඩාකප්පල් කිරීමට කුමන්ත‍්‍රණයක් දියත් කොට තිබුණි. ඔවුහු රාති‍්‍රය පුරා දුරකථන ඇමතුම් ලබා දෙමින් ජාතික ගීයේ තැටි ගත තිරීමට සහභාගි නොවන ලෙසට ගායක ගායිකාවන්ට කොට තිබේ.

තමාට ලැබෙන එවැනි දුරකථන ඇමතුම් වලින් මිදී පණ්ඩිත් අමරදේවයන් ද ශබ්දා ගාරයට පැමිණියේ බොහෝ දහවල් වෙලාය. එතුමාට ලැබුණු දුරකථන ඇමතුම් සමහර ඒවා තර්ජනාත්මක ස්වරූපයක් ගත් ඒවාය. ප‍්‍රවීණ ශිල්පීන් සෑහෙන ප‍්‍රමාණයක් නොපැමිණියත් පැමිණ සිටි ගුරු අමරදේව විශාරද නන්දා මාලනී, ලතා වල්පොල, ගුණදාස කපුගේ, ප‍්‍රදීපා ධර්මදාස, කරුණාරත්න දිවුල්ගනගේ , නිරෝෂා විරාජිනී, අමරසිරි පීරිස්, වී මුත්තලගේ, ජී.එස්.බී. රාණි පෙරේරා, කලාවතී ඩැලරින් සුබී, මරියසෙල් ගුණතිලක, සොහාන් වීරසිංහ, ඉෂාක් බෙක් ආදී ගායක ගායිකාවන් ලවා ගීය තැටිගත කරන්නට - රෝහණ සමත් විය.

මේ සිද්ධියේ ඉතාම කණගාටුදායක හා වේදනාත්මක අවස්ථාව උදාවුයේ ඊළග දින කිහිපයේදීය. ඒ සතියේ පළවූ ජාතික පුවත් පතකම වාගේ මාතෘකාව වී තිබුණේ අපේ පටිගත කිරීම පිළිබඳවය ‘‘ජාතික ගීය රැක ගනිමු.’’ ‘‘ජාතික ගීය විකුණගෙන කන්නයි හදන්නේ’’ ‘‘ජාතික ගීය විකෘති කිරීමට ඉඩ නොදෙනු.’’ ‘‘ජාතික ගීය තැටිගත කරන්නේ කාගේ අවසරයකින්ද’’ ‘‘ජාතික ගීතය විකෘති කිරීම ජාතික අපරාධයක්’’ වැනි දැවැන්ත සිරස්තල යටතේ ප‍්‍රවෘත්ති හා ලිපි විශාල ප‍්‍රමාණයක් පුවත්පත් වල පලවී තිබුණි. දේශපාලනඥයන්, වියතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් සාහිත්‍යධරයන්, භික්ෂූන් වහන්සේලා ආදී බෙහෝ දෙනෙක් ජාතික ගීයේ පටිගත කිරීමට විරුද්ධව අදහස් දක්වා තිබුණි. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ද, කලාකරුවන් සිය ගණනක් අත්සන් තැබූ පෙත්සමක් යවා තිබුණි.

මේ විරෝධතා අපට දැනුනේ ලැව් ගින්නක් පැතිර ගියා සේය. පාඨක ඔබ දැනගත යුතු වැදගත්ම දෙය නම් මෙසේ විරෝධය දැක්වූ කිසිවෙක් අප පටිගත කළ ජාතික ගීතය අසා නොතිබුනු බවය. ඔවුන් සියළු දෙනා මෙන්ම පුවත්පත් ද විරෝධය පෑවේ තමන් කිසි දිනෙක නැසූ ගී පටිගත කිරීමකට එරෙහිවය.

විවිධ දුරකථන ඇමතුම් හා පැතිර ගිය කට කතා අප සසල කරන්නට සමත් විය. මුදල් ලබා ගැනීමක් පිළිබඳ සිහිනෙන් වත් නොසිතූ පණ්ඩිත් අමරදේව ජාතික ගීය ගායනා කරන්නට ලක්‍ෂ ගණනාවක් මුදල් ලබා ගත් බවට පැතිර ගිය කටකතාව නිසා එතුමන් කොරම් කණගාටුවට පත් වන්නට ඇත්දැයි ඔබට සිතා ගන්නට පුළුවන්ද ? වඩාත්ම වේදනාවට පත්වූයේ අප මිත‍්‍ර රෝහණ වීරසිංහයන්ය. ජාතික ගීතයට සහභාගි වීම මඟ හැරී සංගීත ක්‍ෂේත‍්‍රයේ ඔහුගේ ළඟම හිතවතුන්, පටිගත කළ ගීතයට එක් වරක් හෝ සවන් නොදී, හා රෝහණගෙන් වදනක් හෝ නොවිමසා එසේ හැසිරීම පිළිබඳ ඔහු බලවත් ශෝකයට පත් විය.

ජනපතිනිය චන්ද්‍රිකා, ගීතය වහාම තහනම් කරන ලෙස අගමැති රනිල්ට දන්වා තිබුණි. රනිල් සමග දේශපාලනිකවද මා සමග පෞද්ගලිකවද අමනාපයෙන් සිටි චන්ද්‍රිකාට මේ සිදුවීම අපට පහර දෙන්නට හොඳ දේශපාලන අවියක් විය. අගමැති රනිල් ලේක්හවුස් සභාපති නලීන් ලද්දුමහෙට්ටි මගින් මට පණිවුඩයක් එවා තිබුණේ නිහඩවන ලෙස හා මාධ්‍යවලට අදහස් දැක්වීමෙන් වැලකී සිටින ලෙසය.

රෝහණ වීරසිංහ කොතරම් කම්පාවට පත්වූයේද යත් ඔහු සංගීත ක්‍ෂේත‍්‍රය අත්හැර දමන්නට තරම් සිතූ වාර අනන්තය. සිද්ධියෙන් පසු  ඔස්ටේ‍්‍රලියාවට ගිය රෝහණ ආපසු ලංකාවට අවේ මාස ගණනකට පසුවය.

අද ඔබ පුදුම විය යුතු කරුණ නම් දැන් රූපවාහිනී නාලිකා හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ බොහෝ විට ඇසෙන හා උත්සව ආදියේදී විකාශනය වන ජාතික ගීතය එදා අපි විසින් පටිගත කළ ගීතයම වීමය.

ජාතික ගීතය හා බැඳී ඇති දේශපාලනය ගැන නැවතත් අපට කතා කරන්නට සිදු වී තිබේ. ඒ ලබන පෙබරවාරී 4 වැනිදා පැවැත්වෙන නිදහස් උළෙලේදී ජාතික ගීතය දෙමළෙන් ගායනා කිරීමට ඉඩ නොදිය යුතුය යන මතය සිංහල බෞද්ධ ජන නායකයන් ප‍්‍රමුඛ ජනතාවගෙන් ඇසෙන්නට පටන් ගෙන ඇති නිසාය. යහපාලන රජය යටතේ, නිදහස් උත්සවයේදී ජාතික ගීතය දෙමළෙන් ගායනා කරනු ලැබීය. ඊළාම් යුද්ධය පැවති සමයෙදී ජාතික ගීත පිළිබඳව මෙවැනි වාද විවාද මතු නොවුනේ උතුරේ පාලනය එල්.ටී.ටී.ඊයට යටත්ව තිබූ නිසාය. එම අවධියේ උතුරේ ඇසුනේ ඊළාම් ගීතයයි. යුද්ධය අවසන් වීමෙන් පසුවද මහින්ද රාජපක්‍ෂ රජය යටතේ දෙමළ ජාතික ගීතයට ඉඩක් ලැබුනේ නැත. එය නිල වශයෙන් තහනම් කිරීමට උවමනාවක් තිබුණද ව්‍යවස්ථාවට පටහැනි විය හැකි බැවින් එසේ කෙරුනේ නැත. නමුත් නිල නොවන තහනමක් තිබුණි. සිංහල භාෂාව හෝ වචන වල තේරුම් නොදන්නා නිසාද උච්චාරණයේ ගැටළු ඇති නිසාද යාපනයේදී දෙමළෙන් ජාතික ගීතය ගායනා කරනු ලැබීය. සමහර අවස්ථාවලදී එසේ කරනු ලැබුවේ දෙමළ ජාතිවාදී හැගීම් නිසා වන්නට පුළුවන නැත්නම් දකුණේ සිංහලයන්ට විරුද්ධ විය යුතුය යන හැගීමෙන් වන්නටද පුළුවන. තිස් අවුරුදු යුද ශාපයකින් බැට කෑ ඔවුන් එසේ සිතීම පුදුමයක්ද නොවේ. ඒ හැම අවස්ථාවකදීම දකුණෙන් දැඩි විරෝධයක් එල්ලවිය.

ජාතික ගීය සිංහලෙන්ම පමණක් ම ගායනා කළ යුතු යැයි කියන පිරිස උදාහරණයට ගන්නේ භාරත ජාතික ගීතයයි. ඉන්දියාවට ඇත්තේ එකම ජාතික ගීයකි. නමුත් එය මහ ජාතියේ බසින් ලියූවක් නොවේ. මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් එය ලියා ඇත්තේ සංස්කෘත ආභාසය ලැබූ වචනද ඇතුළත් බෙංගාලි බසිනි. එහෙත් සමහර ප‍්‍රාන්ත වලදී එම ගීතය එම ප‍්‍රාන්ත වලට අයත් භාෂාවලින් ගායනා කරනු අසන්නට ලැබේ. තමිල්නාඩුවේදී ගැයෙන්නේ දෙමළ බසිනි. දෙමළ ගීතය ඇරඹෙන්නේ ජන,ගණ,මන කියා නොවේ. ‘‘නීරංගලුම් මොහිංගලුම්...’’ කියාය. ඊට අමතරව හැම ප‍්‍රාන්තයටම ප‍්‍රාන්ත ගීතයක්ද තිබේ. ප‍්‍රාන්තයේ රාජ්‍ය උත්සව වලදී මුල් තැන ගන්නේ එම ගීතයයි. බොහෝ අවස්ථාවලදී ‘‘ජන ගණ මන ’’ ගීතය ගැයෙන්නේ දෙවනුවටය.

අපේ ජාතික ගීතය, මහ ජාතියේ භාෂාව වූ සිංහලෙන්ම ගායනා කළ යුතු යැයි තර්ක කරන්නට ඉන්දියාව උදාහරණයට ගැනීම නිවැරදි නොවේ. අනෙක් බොහෝ රටවල ද ජාතික ගීතය ගායනා කරන්නේ ඔවුන්ටම ආවේනික වූ තීරණ මතය.

දකුණු අප‍්‍රිකාවේ රාජ්‍ය භාෂා 11 ක් තිබේ. නමුත් ජාතික ගීයට ඇතුළත් වී ඇත්තේ ඉන් භාෂා පහක් පමණි. 1918 දී චෙකොස්ලොවේකියාවේ ජාතික ගීතය නිර්මාණය වී තිබුණේ චෙක් ඔපෙරාවකින් හා ස්ලොවේනියානු ජන ගීතයකිනි. 1993 දී චෙකොස්ලොවේකියාව කැඩී වෙනම ස්ලොවේනියානු රාජ්‍යයක් බිහිවූ විට ජාතික ගීතයද බෙදී ගියේය. මුල් පදවැල් චෙකොස්ලොවේකියාවටද අග කොටස ස්ලොවේනියාවටද අයත් විය.

නවසීලන්තයේ ජාතික ගී දෙකකි. විශේෂ උත්සව වලදී ගායනා කෙරන්නේ ‘‘ගෝඩ් සේව් ද ක්වීන්’’ ගීතයයි පොදු ජාතික ගීතය ලෙස සැලකෙන්නේ ‘‘ගෝඩ් ඩිෆෙන්ඩ් නිව් සීලන්ඩ්’’ ගීතයයි. නීතිමය ලෙස මේ ගීත දෙකටම ඇත්තේ සමාන අයිතීන්ය. සිංගප්පූරුවේ මැලේ ජනගහනය 20% වුවද ජාතික ගීතය මැලේ භාෂාවෙනි. ජාතික ගීත පිළිබඳ මෙවැනි උදාහරණ වෙනත් රටවල රාශියක් ඇසුරෙන් පෙන්වා දිය හැකිය.

උතුරේ මිනිසුන් දෙමළ ඊළාම් ගීතය ගායනා කරනවාට වඩා අපේ ජාතික ගීතය දෙමළෙන් ගායනා කිරීම හොඳ බව දකුණේ අයට සිතුනේ නැත. යුද්ධයට පෙර එල් ටී ටී ඊය විසින් හඳුන්වා දුන් දෙමළ ඊලාම් ගීතය යාපනයේ සියළු පාසැල්වල ගායනා කළ යුතු යයි නීතියක් තිබුණි. අද 18 - 19 වියේ පසුවන උතුරේ දෙමළ තරුණ තරුණියන් එදා තම පැසැල් වියේදී ගායනා කළේ ජාතික ගීතය නොව දෙමළ ඊළාම් ගීතයයි. දකුණේ අපට මේ ගැන අවබෝධයක් තිබුණේ ද නැත.

යහපාලන රජය ජාතික ගීතය දෙමළෙන් ගැයීම ආරම්භ කළේ දේශපාලන වාසි බලාපොරොතුවෙන් බවට සැකයක් නැත. එය දෙමළ ජනතාවට ඇති ආදරයක් නිසා ගත් පියවරක් නොවේ. රටේ සංහිඳියාව ඇති වී තිබෙන බව ජාත්‍යන්තරයට පෙන්වීමේ උවමනාව ද යහපාලනයට තිබුණි. එහෙත් තම භාෂාවෙන් ගැයුනු එම ගීතය දෙමළ ජනතාවගේ සිත් වලට තදින් දැනෙන්නට ඇත. ගවේශනාත්මක ලිපි ලියන ප‍්‍රවීන දේශපාන විචාරකයකු වන ඩී බී එස් ජෙයරාජ් පවසන්නේ නිදහස් උත්සවයේදී දෙමළෙන් ජාතික ගීය අසන්නට ලැබීමෙන් තමන්ගේ දෑස් වලට කදුළු නැගුනු බවයි.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් පිරිසක් විසිරයාමේ උත්සවයකදී සිංහලෙන් ජාතික ගීතය ගායනා කරනු මම දුටුවෙමි. මට සිතුනේ ඔවුන්ගෙන් කී දෙනෙකුට එම ගීතයේ වදන් තේරුම් ගන්නට පුළුවන් වුනිදැයි කියාය. ජාතික ගීතය අසන විට අපගේ සිත්වලට දැනෙන මාතෘභූමිය පිළිබඳ ආදරණීය හැගීම, අභිමානය ඔවුන්ට දැනෙන්නට නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දෙමළ ජාතික ගීතය ගායනා කරන්නට ඉඩ දුන් විට අනෙකුත් සුළු ජාතීන්ද වෙන වෙනම, ගීත ඉල්ලනු ඇතැයි පැවසීම බොළඳ දේශපාලන තර්කයකි.

දැන් අප රටෙහි දේශපාලනයෙහි ඵෙතිහාසික වෙනසක් සිදු වී තිබේ. අපට සිටින්නේ දෙමළ ඡන්ද පිළිබඳ බලාපොරොත්තුවකින් තොරව සිංහල ඡන්ද වලින්ම බලයට පත් වූ නායකයෙකි. මැතිවරණයකදී දෙමළ ඡුන්ද මෙහෙය වනු ලබන්නේ අවස්ථාවාදී දෙමළ දේශපාලන නායකයන් විසිනි. ඔවුන් වැඩිදෙනෙක් ජාතිවාදීහුය. යුද්ධය නිසා දශක ගණනාවක් සිංහලයන්ගෙන් ඈත් වී සිටි දෙමළ ජනතාවට ජාතිවාදය විකිණීම අපහසු දෙයක් නොවේ. යුධ සමයේ එල්.ටී.ටී.ඊය විසින් ඔවුන්ගේ සිත් වලට කා වද්දා තිබූ උග‍්‍ර සිංහල විරෝධය මෙතරම් ඉක්මණින් මැකී ගොස් ඇතැයි සිතන්නට පුළුවන් කමක් නැති බවද මතක තබා ගත යුතුය. ඒ නිසා සිංහල බසින් ජාතික ගීතය ගයන්නට බල කිරීම ඔවුන්ට අප‍්‍රසන්න වනු ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිධූරයට පත්වූයේ සිංහල ඡන්ද වලින් බව සැබෑය. එහෙත් ඔහු ජනාධිපති වන්නේ සිංහලයන්ට පමණක් නොවේ. මුළු රටටමය. ඔහු සමග විරසක වී සිටි මුස්ලිම් ජනතාවගෙන් වැඩි කොටසක ගේ ඡන්දය දිනා ගැනීමට ඔහු සමත් වූ බව අපි දනිමු.

ඒ ආකාරයට ඔහු දෙමළ හදවත්ද දිනාගත යුතු නොවේද? ඔහුගේ කැබිනට් මණ්ඩලයේ දෙමළ හෝ මුස්ලිම් නියෝජකයන් නැතැයි කිසිවෙකුට තර්ක කරන්නට පුළුවන. නමුත් තමන් නියෝජනය කරනු ලබන්නේ තම වර්ගයට අයත් අවස්ථාවාදී ජාතිවාදී දේශපාලන නායකයින් විසින් නොව මුළු රටටම ආදරය කරන ජනාධිපතිවරයකු විසින් බව, දෙමළ සිත්වල සටහන් කරන්නට හැකි නම් මුළු රටම දිනුම්ය කියා නොබියව කියන්නට අපට හැකිවනු ඇත.

දකුණේ අප මුළු මස් රාත්තලම ඉල්ලා නොසිටිය යුතු බව මගේ හැගීමය. අප හැම දෙනාටම අයිති ජාතික ගීතය දෙමළ මිනිසුන්ට තේරෙන ඔවුන්ගේ බසින් ගායනා කරන්නට ඉඩ දිය යුතු බව මම කියමි.

(බන්දුල පද්මකුමාර)

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 January 2020 12:45

Live