May 28, 2017

කාපිරි මඟුලකින් ලෝකය ජයගත් සිරිමාවෝ

මහජන ජන්දයෙන් තේරී පත්වුනු ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමත්‍යවරිය ඊට පෙර අවුරුදු විස්සක්ම ගෙව්වේ දේශපාලනය පිළිබඳ කිසිදු උනන්දුවක් නොදැක් වු ගෘහණියක් ලෙසය. අගමැතිනිය වනතාක්ම ඇගේ ජීවිතය දරුවන් කේන්ද්‍ර කොටගෙන පැවති සරළ එකකි. එකල ඇයට දේශපාලනය ගැන අවබෝධයක් නොතිබුණු බව බොහෝ දෙනා කියති. අගමැති S.W.R.D ඔහුට වඩා 17 වසරක් බාල තම බිරිඳ ගෘහණියක් වශයෙන් ම තබා ගන්නට කල්පනා කල බවද රහසක් නොවේ.

වරක් රොස්මිඩ් පෙදෙස ටින්ටජල් නිවසේදී අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකට බඳුන් වී තිබුණේ ”කුඹුරු පනත’’ය. ධනපති කුඹුරු  හිමියන්ගේ බල පුළුවන්කාර කම් කඩා බිඳ දමමින් දුප්පත් අඳ ගොවීන්ට සාධාරණ අයිතිවාසිකම් ලබා දෙන කුඹුරු පනත ඉදිරිපත් කරන ලද්දේ එවකට ඉඩම් ඇමතිවරයා වු පිලිප් ගුණවර්ධන විසිනි. සාකච්ජාව අතර මැද එහි සිටි සියලූ දෙනාම බලාපොරොත්තු නොවු පරිදි එතැනට ආ බණ්ඩාරනායක බිරිඳ සිරිමාවෝ, ඇමති පිලිප් සමඟ තරමක උණූසුම් සංවාදයක පැටළුනාය. ඇයගේ යටි සිතෙහි තිබෙන්නට ඇත්තේ තම පරපුරට අයත් මහවලතැන්නේ කුඹුරු යායවල් මේ පණත නිසා වලව්වට අහිමි වීම පිළිබඳව විය හැකිය. මෙහිදී අසිරුතාවයට පත් අගමැතිවරයා ”සිරිමා කුස්සිය... කුස්සිය” කියමින් ඇය සාකච්ජාවෙන් පිටමං කල බව කියැවේ. 

බණ්ඩාරනායක චරිතාපදානය ලියූ James Manor නම් ලේඛකයා තවත් සිදුවීමක් මෙසේ සඳහන් කරයි. රොස්මීඩ් නිවසේ සාකච්ජාවකදී සිරිමාවෝ සැමියා ප‍්‍රමුඛ පිරිසට තේ ගෙන ආවාය. තේ බන්දේසිය දුටු බණ්ඩාරනායක තම බිරිඳට මෙසේ කීවේය. 

      ”සිරිමා මේ මහත්වරු තේ බොන්නේ සීනි දාලයි. සීනි තේ කෝප්පේට දාන්න හැන්දක් කියලා එකක් තියෙනවා. ඔයා ඒක ගෙනත් නැහැ.” 

 කීකරු බිරිඳ සිරිමාවෝ හැන්දක් ගෙන ඒමට කුස්සියට පියමැන්නාය. ඇයටත් ඇසෙන්නට S.W.R.D සිය අමුත්තන්ට මෙසේ කීවේය. 

     ”මේ ගොල්ල වෙනුවෙන් හිතන්නත් වෙලා තියෙන්නේ අපිටයි.”

එදා කුස්සියට තල්ලූ කරනු ලැබු සිරිමාවෝ අවුරුදු කිහිපයක් ගත වෙන්නටත් පෙර දේශපාලනයට තල්ලූ වුනු අතර ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය වී ලෝක ඉතිහාසයට එක් වීම දෛවෝපගත සිද්ධියකි. සිරිමාවෝ ගේ කතාව විශ්මය දනවන සිදුවීම් වලින් පිරුණු එකකි. ඇයගේ සිය වෙනි ජන්ම දිනය පසුගිය අපේ‍්‍රල් 17 වෙනිදාට යෙදී තිබුණි. මේ සටහන ඇයට දක්වන ගෞරව උපහාරයක් ලෙස සලකන්නෙමි. 

අද ජීවිතයේ සැඳෑ සමය ගෙවන බොහෝ දෙනෙකුට ලැබුණු වාසනාවන්තම කාලය හැත්තෑව දශකය බව කිව යුතුව තිබේ. හැත්තෑව දශකයේ ජීවිතය සොඳුරු සිහිනයක් සේ මතකයේ රැදෙයි. එහි පදනම බණ්ඩාරණායක ප‍්‍රතිපත්ති හා ඒවා ඉදිරියට ගෙන ගිය සිරිමාවෝ මැතිණියගේ අයෝමය ශක්තිය බව කෘතගුණ පුර්වකව සිහිපත් කල යුතුය. හැත්තෑවේ මැතිවරණයේ දී ලංකාවේ ප‍්‍රවීණතම හා ජනපි‍්‍රයතම සිනමා කලාකරුවෝ සිරිමාවෝ මැතිණියට සහාය දීමට ඉදිරිපත් වුහ. නළු නිළි සංගමයේ දෙවැනි රැස්වීම පැවැත්වුණේ ගාලු කොටුව ඉදිරිපිටය. ගාල්ලට යැම සඳහා කොළඹ සිට නළු නිළියන් ගියේ රිය පෙරහැරකිනි. මොරිස් මයිනර් කුලී රථයක නැගි තිස්ස අබේසේකරයන් සමග රිය පෙරහැරේ ගාල්ලට යන්නට මටද ඉඩක් ලැබුණි. රැස්වීමට ජන ගඟක් මෙන් මහ සෙනඟක් පැමිණ සිටියහ. ඒ අමතක නොවන සන්ධ්‍යාවේ වේදිකාවට නැඟුණු නන්දා මාලිනිය ”මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි”  ගීතය ගායනා කරද්දී මගේ තුරුණු හිත අභිමානයෙන් යුත් ආස්වාදයකින් පිරි ගිය ආකාරය අදද මට සිහිපත් වෙයි.

ඇයට සහායදුන් නළු නිළියන් මැතිනියගෙන් කල ප‍්‍රධාන ඉල්ලීම වුයේ, චිත‍්‍රපට ප‍්‍රදර්ශක මුදලාලිලා අත තිබු සිනමා ඒකාධිකාරිය වෙනස් කිරීමයි. එය බලවත් ඒකාධිකාරියක් විය. අගමැතිනිය වු වහාම ඇය චිත‍්‍රපට සංස්ථාව බිහි කළාය. ඒකාධිකාරිය පසු බැස්සේ නැත. අන්තිමේදී මැදියම් රැයේ පොලිස් නිළධාරීන් කාණ්ඩායමක් සමඟ සිනමා ශාලාවලට ගිය චිත‍්‍රපට සංස්ථාවේ ප‍්‍රථම සභාපති සරත් අමුණුගම හා ඩී.බි නිහාල්සිංහ එම ශාලාවල පෙන් වු චිත‍්‍රපට අත්අඩංගුවට ගනිමින් සිනමා ඒකාධිකාරීන් මෙල්ල කරන්නට සමත් වුහ.  

සිරිමාවෝ දේශපාලන කරලියට පිවිසියේ මහත් අකමැත්තෙනි.  ඇයට පක්‍ෂය පිළිබඳව සැක සංකා තිබුනි. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු  පනස්හයේ පෙරළිය සිදු කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නායකත්වයක් නැති විය. පක්ෂය විවිධ කොටස් වලට බෙදී ගියේය. පක්ෂයේ සමහර කොටස් ශි‍්‍ර.ල.නි.ප. නායකත්වය භාර ගන්නා ලෙස ආයාචනා කරමින් මහාචාර්ය මලලසේකර, සර් ජෝන් කොතලාවල හා ජේ. ආර් වෙතද ගියහ. තම සැමියාගේ ඝාතනය ගැන ඇය ශි‍්‍ර.ල.නි.ප. සමඟ උරණ වී සිටියද, බොහෝ දෙනාගේ ඉල්ලීම මත ඇය දේශපාලන වේදිකාවට ගොඩවුනාය. සුදු සාරියෙන් සැරසුනු  සිරිමාවෝ රට පුරා මැතිවරණ කොට්ඨාශ දෙසීයක රැස්වීම් 350 ක් ඇමතුවාය. බොහෝ රැස්වීම් වල තම සැමියා ගැන කතා කරද්දි ඇය හඩා වැටුනාය. පාක්ෂිකයෝද ඇය සමඟ කඳුළු සැලූහ. විරුද්ධවාදීහු ඇයට ‘‘හඬා වැටෙන වැන්දඹුව’’ (Weeping Widow) යන නම පටබැන්දෝය. එ.ජා.ප ය ඇය දේශපාලනයෙන් ඉවත් කිරීමට නොගත් උත්සාහයක් නැත. ගැහැණියක් ලෙස ඇයට ඉතාම පහත් ආකාරයෙන් අපහාස වලට මුහුණ දෙන්නට සිදුවිය. සිරිමාවෝ අගමැතිනිය වුවහොත්, මසකට වතාවක් අගමැති පුටුව සෝදන්නට වේ යැයි ආර්.පේ‍්‍රමදාස පාර්ලිමේන්තුවේ දී කළ කතාව එක් උදාහරණයක් පමණි.  

අද පරපුරේ බොහෝ දෙනා බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති හෝ ඒ ප‍්‍රතිපත්ති මත පිහිටා මැතිනිය ගත් ජාතික පියවර ගැන දන්නේ නැත. ප‍්‍රථමයෙන් අගමැති වූ අවස්ථාවේ ඇය ආධාර ලබන පාසල් රජයට පවරා ගත්තාය. ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය සමාගම් යටතේ පැවති ඉන්ධන ඒකාධිකාරය පුපුරවා හරිමින් ඉන්ධන බෙදාහැරීම රජයට පවරා ගත්තාය. එම අවස්ථාවේ මෙරට ඇමරිකානු තානාපතිනිය මැතිනියට තර්ජනය කලේ ඇමරිකානු රජය අනුග‍්‍රහයෙන් මෙරට පාසැල් දරුවන්ට නොමිලේ ලබා දෙන බනිස් හා කිරි ආහාර වේල පවා නතර කරන බව කියමිනි. ඇගේ පාලන සමයේදී වානේ කර්මාන්තය (වානේ සංස්ථාව),  දැව කර්මාන්තය (දැව සංස්ථාව), සම් භාණ්ඩ කර්මාන්තය (සම් භාණ්ඩ සංස්ථාව), කජු කර්මාන්තය (කජු සංස්ථාව), කිරි කර්මාන්තය (කිරි මණ්ඩලය), නිමි ඇදුම් කර්මාන්තය, (තුල්ගිරිය සංස්ථාව) වැනි කර්මාන්ත පොදු ජන අයිතියට ලක් කලාය. ලංගම පුළුල් සේවාවක් බවට පත් කලාය.

ගැමි පොදු ජනතාවට, බයක් සැකක් නැතිව ළඟාවිය බැංකු සේවාවක් උදෙසා මහජන බැංකුව ඇරඹුවාය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගොඩනැඟුවාය. සහල්, තේ, රබර්, පර්යේෂණ ආයතන, වී අලෙවි මණ්ඩලය ආදිය ශක්තිමත් පදනමක් යටතේ ගොඩ නැගුනේ ඇයගේ යුගයේදීය. දැඩි විරෝධතා බලපැම් මැද්දේ වුව විජාතික සමාගම් යටතේ තිබූ තේ වතු ද ධනවතුන්, වලව්කරුවන් සතුව තිබූ අක්කර පනහට වැඩි සියලූ වතුද ජනසතු කලාය. 

ඇය සිංහල භාෂාව රජයේ පරිපාලන භාෂාව බවට පත්කිරීම විසම්මුතිවාදී තීරණයක් බව සමහර දේශපාලන විචාරකයෝ කියති. එහෙත් ඇයගේ පරිපාලන සමයේ දී ඇය සුළු ජාතීන්ට කල සේවාවන් අමතක කරති. සුළු උදාහරණයක් වන්නේ යාපනයේ ගොඩනැගුනු සරසවිය හා මහා පුස්තකාලයයි. පසුකලෙක ජාතිවාදී උන්මාදයෙන් යුතු එ.ජා.ප. මැරයන් කොළඹ සිට වෙනම දුම්රියකින් ගොස් එය ගිනි තැබූ ආකාරය කවුරුත් දනිති. 

මැතිනිය ශී‍්‍ර ලංකාවේ සිටි හොඳම විදේශ අමාත්‍යවරයා බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. ඇය නොබැඳි ජාතීන්ගේ සංගමයේ නායිකාව බවට පත්වී බටහිර නොවන, නොබැඳි රටවල් සමග සමීප සබඳකම් ඇති කරගත්තාය. ඉන්දිරා ගාන්ධි, සදාම් හුසේන්, අබ්දුල් නසාර්, චෞ එන් ලායි, මාර්ෂල් ටිටෝ, කෙනත් කවුන්ඩා, කර්නල් ගඩාෆි, රොබට් මුගාබේ, වැනි රාජ්‍ය නායකයන් 86 දෙනෙක්, 1976 දී ශී‍්‍ර ලංකාවේ පැවති නොබැඳි ජාතීන්ගේ සම්මේලනයට පැමිණියේ මැතිනියගේ ආරාධනාවෙනි. ඒ සබඳකම් ශී‍්‍ර ලංකාවට මහත් ශක්තියක් වූ අවස්ථා බොහෝය. එක් අවස්ථාවක් වන්නේ, 1973 අරාබි - ඊශ‍්‍රායල යුද්ධය සමයේදී ඇති වූ ලෝක ඉන්ධන අර්බුදයයි. ශී‍්‍ර ලංකාවට ද තෙල් නැති විය සිරිමාවෝ ඉරාක ජනපති සදාම් හුසේන්ට කතාකොට ඉතා පහසුවෙන් ඉන්ධන ලබා ගත්තාය. 

1971 අපේ‍්‍රල් කැරැල්ල ඇති වූ අවස්ථාවේ පකිස්ථානය, ඉන්දියාව  ආදී රටවල් ඇයගේ සහායට ඉදිරිපත් වූහ. එක් රටක් යුධ නැවක් ලංකාවට එවීමට පවා සැලසුම් කල බව කියැවේ. ඇය කැරැල්ල මර්දනය කොට අත්අඩංගුවට ගත් පිරිස පුනරුත්ථාපනය කිරීමට පියවර ගත්තාය. එම කැරලි මර්දනය පේ‍්‍රමදාස යුගයේදී එනම් 88 - 89 කැරැල්ලේදී ජ.වි.පෙ තරුණයන්ට දස වධ දී ඝාතනය කල ආකාරය හා සසඳා බැලිය යුතුය. කැරැල්ලේදී මැතිනිය ඝාතනය කරන්නට සැලසුම් කල අයට පවා අභය දානය දුන් මැතිනිය කැරැල්ල මර්ධනය කල ආකාරය පිළිබඳ අදහස් දක්වමින් ශී‍්‍රමත් ජොන් කොතලාවල පවසා තිබුනේ කැබිනට් මණ්ඩලයේ සිටින එකම පිරිමියා සිරිමාවෝ බවයි. 

චීන රජයෙන් මැතිනියට තිළිනයක් ලෙස ලැබුණු බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ, 1976 දී නොබැඳී ජාතීන් සමුළුව පවත්වන ලදි. BMICH වෙනුවට චීනයෙන් රෝහලක් ඉල්ලා නොගන්නේ මන්දැයි විපක්‍ෂය ප‍්‍රශ්න කලේය. නොබැඳි ජාතින්ගේ සමුළුවට කළු ජාතික රටවල නායකයන් වැඩි පිරිසක් සහභාගි වීම නිසා එදා යූ.ඇන්.පිය නොබැඳි සමුළුව හැඳින්වූයේ කාපිරි මඟුල ලෙසය. එහෙත් මේ පුංචි දූපතේ වාසනාවට සිරිමාවෝ බණ්ඩාරනායක කාපිරි මඟුලෙන් ලොව ජයගත්තාය.      

 

Rate this item
(2 votes)
Last modified on Thursday, 12 May 2016 01:04