March 29, 2024

මොන ප...යද නිවාඩු දවසෙ ලයිට් කැපුවේ?

පසුගිය ඉරිදා රට පුරා විදුලිය නැතිවිය. පෙර දැනුම් දිමකින් තොරව පැය හයකටත් වැඩි කාලයක් විදුලිය නැතිවීම නිසා මුළු රටම අඩපණ වුවාසේය. මෙය විසි වසරකට පසු රටේ සිදු වු දීර්ඝතම විදුලිය බිඳ වැටීමයි. කොරේ පිටට මරේ කීවාක් මෙන් කොළඹ නගරය ඇතුලු බොහෝ තැන්වල ජලය බෙදා හැරීමද නතර විය. ඉදිරි සති කිහිපයේදි විදුලිය අර්බුදය රටේ දැවෙන ප‍්‍රශ්නයක් වනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කරති. බියෙන් සිටිති.

"රටේම ලයිට් යන ලෙඩේ ඊයෙත්..." මේ පසුගිය 14 වැනිදා සඳුදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලයයි. මව්බිම පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය කොටස් කිහිපයකින් යුක්ත විය. "ඊයේ රට පුරාම විදුලිය කැපුවේ කවුද ?" "හොයන්න දෙයක් නෑ මේක කඩාකප්පල්කාරී වැඩක්”. විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා  කියයි. "ඇමති සියඹලාපිටිය දුරකථනයට ආවේ නැහැ. වගකීම භාරගෙන විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි”. අද පුවත්පත ප‍්‍රධාන පුවතින් කියා සිටියේ මෙසේය. "ඊයේ මධ්‍යම රාත්‍රිය වනතුරුත් ප‍්‍රදේශ රැසකට විදුලිය නෑ.”ජන ජීවිතයට දැඩි අපහසුතා. ජල පොම්පාගාරත් නවතී. දුම්රිය මාර්ග සංඥා කි‍්‍රයා විරහිතයි." 

ඩේලිමිරර් පුවත්පතේ ශිර්ෂ පාඨය ලොකු කළු අකුරින් BLACKOUT යන්නයි. බියගම විදුලිබල මධ්‍යස්ථානයේ ට‍්‍රාන්ස්පෝමරයක් පිපිරීම නිසා විදුලිය බිඳ වැටිම සිදු වු බවත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න සොයා බැලීමට රජයේ රස පරීක්ෂක කටයුතු කරන බවත් ඩේලිමිරර් පුවත්පත කියා තිබුණි. 

දැන් අපි 15 වෙනිදා ජාතික පුවත්පත් මේ පිළිබඳ වාර්තා කල ආකාරය විමසමු. ”විදුලිය බිඳවැටිම සාපරාධී වැඩක්ද? නීතිමය පියවර ගන්නැයි මණ්ඩලයෙන් පැමිණිල්ලක්” ඒ දිණමිණ පුවත්පතේ ශිර්ෂ පාඨයයි. මව්බිම පුවත්පතේ ප‍්‍රධාන සිරස්තල කිහිපයකින් කියවුනේ, ”නොරොච්චෝලේ තත්වය භයානකයි” ලංවිම මර්මස්ථානවලට ජනපති හමුදාව යොදවයි” ”ඇමති ලියුම භාර නොගත් නිසා සභාපතිගේ ඉල්ලා අස්වීම කල්යයි” දිවයින  පුවත්පත තෝරාගෙන තිබුණේ විදුලිබල නියෝජය ඇමති අජිත් පි. පෙරේරාගේ ප‍්‍රකාශයකි. ”නොදන්වාම විදුලිය කපන්න සිද්ධ වෙනව. රටටම දෙන්න විදුලිය නැහැ” 

ඇත්තටම විදුලිය බිඳවැටීමේ හේතුව කුමක්ද ? කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් ද?  නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා කියන විදියට මෙය කුමන්ත‍්‍රණයකි. සාමානයෙන් රාජ්‍ය  ආයතනවල ආරක්ෂාවට යොදවනු ලබන්නේ පොලීසිය වුවත් ජනපති මෛත‍්‍රී විදුලි බලාගාර හා විදුලිබල මර්මස්ථානවලට යුද හමුදාව යෙදවීමෙන් පෙනී යන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කඩාකප්පල්කාරී කතාව රජයේ මතය වී ඇති බව නොවේ ද?    

නමුත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියන්නේ මෙය කිසිසේත්ම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් නොවන බවයි. බියගම ග‍්‍රිඩ් විදුලි උප පොළෙහි ට‍්‍රාන්ස්පෝමරය අවුරුදු 30ක් පරණය. එහි කාර්මික දෝෂයක් ඇතිවිය. ඒ අතර හබරණ හා උකුවෙල අධි බලැති විදුලි රැහැනකද කාර්මික දෝශයක් ඇතිවිය. මෙවැනි අවස්ථාවක නොරොච්චෝල බලාගාරය සක‍්‍රීය විය යුතුය. එහෙත් එයද සිදු නොවීය. 

මීට මාස කිහිපයකට පෙරද මෙවැනිම විදුලි බිඳ වැටීමක් සිදුවිය. ඒ පිළිබද පරීක්ෂණ කමිටුවක් පත් කෙරිණි. ඒ පරීක්ෂණ කමිටුවේ යෝජනා කි‍්‍රයාත්මක වු බවක් දැනගන්නට නොමැත. කොතැන හෝ බලවත් වරදක් සිදු වී තිබේ. රටට දෙන්නට තරම් විදුලිය මණ්ඩලය සතුව නැති බව නියෝජ්‍ය ඇමතිවරයා කියන්නේ ඇයි? මේ පිටුපස රට නොදන්නා තවත් කතාවක් තිබේද? කඩාකප්පල්කාරී කතාව රජයේ ඇඟ බේරා ගෙන හිටපු රජයට ඇඟිල්ල දිගු කිරීමට දරන පහත් දේශපාලන වැඩක්ද? දැනටමත් ඇමති ජෝන් අමරතුංග කියා ඇත්තේ විදුලිය බිඳ වැටිම ඒකාබද්ධ විපක්ෂයේ පටු දේශපාලන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බවයි. 

අපේ රටේ දිනකට විදුලිය මෙගාවොට් 2000ක් භාවිතා වේ. විදුලිය නිපදවීමට ජල විදුලි බලාගාර 17 ක්ද නොරොච්චොලේ ඇතුලු තාප බලාගාර 7ක්ද සුළං විදුලි බලාගාර දෙකක් ද තිබේ. විදුලි ඉංජිනේරුවරු දහසක් මණ්ඩලයේ සේවය කරති. ඒ අනුව මෙගාවොට් දෙකකට එක ඉංජිනේරුවෙක් බැගින් සිටිති. එහෙත් කිසිවෙකුත් නොදැන බියගම ට‍්‍රාන්ස්පෝමර් එක පුපුරා ගියේ කෙසේද? එය අවුරුදු 30 ක් පරණ බව ඉංජිනේරුවන් කීවත් විදුලිබල ප‍්‍රවීණයන් කියන්නේ හරි නඩත්තුවක් ඇත්නම් ඕනෑම ට‍්‍රාන්ස්පෝමරයක් අවුරුදු 60 ක් පරණ වුවත් පාවිච්චි කල හැකි බවය. මේ සියල්ල කෙසේ වෙතත් බියගම පිපිරීම ගැන වගකීම භාර ගන්නට කිසිවෙකු සොයා ගැනිමට නොහැකි වනු ඇති බව නම් අපට කියන්නට හැකිය.  

විදුලිය බිඳ වැටීම පිළිබඳ අඟහරුවාදා කොළඹ දි විද්වත් සංවාදයක් පැවැත්වුණි. එය මෙහෙයවන ලද්දේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල උපදේශකවරයෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව විසින්. එම සභාවේදී කුමන්ත‍්‍රණය ගැන ප‍්‍රශ්නයක් ඇසු විට මහාචාර්යවරයා දැඩි කෝපයට පත් වී ප‍්‍රශ්න නැඟු පුද්ගලයා සභාවෙන් එළවා ගත්තේය.

ඉරිදා රට පුරා විදුලිය කැපුවේ කවුද? යන පත්තර ප‍්‍රශ්නයට පිළිතුරක් ලෙස එයත් මහින්ද රාජපක්ෂගේ  වැඩක් කියා ප‍්‍රචාරයක් කරන්නට බලධාරීන්ට අවශ්‍යතාවය තිබේද?

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි නම් ලයිට් කැපීම ගැන හරියටම තේරුම් ගෙන හොඳ හොඳ දේවල් පලකරති.  මේ ලිපියේ අවසානය සඳහා එයින් කිහිපයක් උපුටා දක්වමි.  

  • මේ දවස්වල ලයිට් යනකොට සිරිසේනගෙයි, රනිල්ගෙයි හත්මුතු පරම්පරාව මතක් වෙන්නේ මට විතරද බං?
  • මාතර බොදු ගොවි 28 චරිතවත් පි‍්‍රය මනාප ජෙනියක් හිමි (ජෙනරේටරයක්) පුතුට දියණියක් දෙමාපියෝ සොයයි
  • මට නිකම් වගේ හිතුනා භුමිතෙල් මිල එහෙම අඩු කරලා යහපාලනේ පටන් ගන්නකොට කුප්පි ලාම්පුවට අපමණ අගයක් එයි කියලා
  • විදුලිබල මණ්ඩලයේ සුවිච් එක නාමල් ඔෆ් කරනවා මම ඇස් දෙකෙන් දැක්ක (චතුර සේනාරත්න) 
  • විදුලිබල මණ්ඩලයේ වී ගබඩා කරන්න මගේ අදහස තියෙනවා. (අගමැති රනිල්)
  • මට ලැම්බොගිනියක් ගෙනත් දියන් කඩේට ගිහින් ඉටි පන්දමක් අරන් එන්න (අලූත් පරපුර)
  • ඕන ගොනෙක්ට පුළුවන් විදුලිය කපන්න. ඉතින් රජයට බැනලා වැඩක් නෑ. (කිරිඇල්ල)
  • මම කරුවලේ ගේ ඉස්සරහට වෙලා ඉද්දි මහින්දගෙ රත්තරං අශ්වයෝ දෙන්නා අපේ ගේ ලඟින් දුවලා ගියා. (රන්ජන් රාමනායක)
  • මෙහෙම කරුවලේ හිටියාම ගම්වැසියන්ට ඒඩ්ස් හැදෙනවා ඒ නිසා මම පුතාව අම්මගෙන් වෙන් කරනවා (අකිල විරාජ්)
  • ලංකාවටම කරන්ට් එක කපලා අපි ඒ ගැන කතා කරද්දි රනිල් මාමා ශේප් එකේ ඉන්දියාව එක්ක සීපා ගිවිසුම අස්සන් කරාද දන්නේ නැහැ? රනිල් මාමා ඒ වගේ ඩයල් එක 
  • මොනවා වුනත් මේ ආණ්ඩුව හෙන සාධාරණයි බං. කලින් ආණ්ඩුව කරන්ට් කපන්නේ එක පැත්තකට විතරයි. මුන් එකපාර මුළු ලංකාවටම ඇරලා දානවානේ.
  • වෙනස සැපද අහන්න බුකියේ ටොයියෙක් ආසවට හොයාගන්න බැහැ. මම හිතන්නේ උන් ඉටිපන්දම් ගෙන්න කඩේට ගිහිල්ලද කොහෙද
  • ටීවී එකේ ”ස්වප්නා” ”මේ ආදරයයි” තියෙන වෙලාවට කරන්ට් කැපුවානම් ආණ්ඩුව පෙරලන එක කජ්ජක් නෙමෙයි බං
  • මේ විදියට කරන්ට් එක කැපුවොත් මම යහපාලන ආණ්ඩුවට ලබන පාරත් ජන්දය දෙනවා. (මීට හොරෙක්)
  • මොන ප...යද නිවාඩු දවසේ ලයිට් කැපුවේ? (වාසු)
Rate this item
(2 votes)
Last modified on Wednesday, 16 March 2016 21:24