March 28, 2024

බල්ලන්ට ගිය ඔපෙරාව

February 22, 2016

පෙබරවාරි 4 වැනි දා නිදහස් දින රාජ්‍ය උත්සවයේ දී ජනතාව අතර බොහෝ කළක් ජනප්‍රියව තිබු කැපී පෙනුන ගීත කිපයක්ම ගායනා විය. ඒ අතරින් වඩාත් අවධානය දිනාගත්තේ ඔපෙරා ශෛලියෙන් කිෂානි ජයසිංහ ගැයු දන්නෝ බුදුන්ගේ ගීතයයි.

සමාජ ජාල වෙබ් අඩවිවල මෙන් පහත් අකාරයේ විවේචනයක් නොවුන ද දෙරණ නාලිකාවේ සංඛ අමරජීත් මාධ්‍යවේදියා ද ඒ ගීතය අසා කිෂානි ජයසිංහ ගැන දැඩි විවේචනයක් එල්ල කළේය. මේ ඔහු තම රුපවාහීනි වැඩසටහනේ කියු වදන්ය.

"ඥාව් ඥාව් කියා බැළලියෝ හිටපු ගමන් සද්ද කරනව රෑට එතකොට අපි මොකද කරන්නේ ගඩොල් භාගයක් අරන් ඒ සද්දේ එන පැත්තට ගහනව. නේද ? මූසලයි මුස්පෙන්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ. දන්නෝ බුදුන්ගේ ගීතය ටවර් හෝල් යුගයේ ඉඳන් ඉතාමත් උත්තරීතර ගීතයක් විදියට බොදු බැති ගීයක් විදියට දන මන පුබුදුවාලන ඉතාමත් උතුම් ගීතයක් විදියටයි සැළකුනේ. අපේ අමරදේව මහත්තාගේ පටන් අපේ ගායක ගායිකාවෝ ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් යුතුව මෙම ගීතය ගායන කළා."

අද මෙම ප්‍රකාශය ගැන සංඛ පසු තැවෙනු ඇතැයි සිතන්නෙමි. එහෙත් ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීම නිසා රටක් ආදරය කරන ගීතයකට හානියක් අවමානයක් සිදු වි ඇතැයි ඔහුගේ හිතට නැගුණු මතය වෙනස් නොවී ඇතැයි ද කල්පනා කරන්නෙමී. එය රටේ සෑහෙන පිරිසකගේ මතය ද වී තිබේ.

ඊට පසු දා දෙරණ නාළිකාවේ චතුර අල්විස් දෙරණ ආයතනය හා සංඛ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. සමාජ ජාල වෙබ් අඩවි වල ද, පුවත් පත්වල ද දන්නෝ බුදුන්ගේ ගීතය හා ඔපෙරා ශෛලියෙන් ගායනය කිරීම ගැන පිළිබඳ විවිධ මතවාද දැකගන්නට ලැබුණි. කිෂානිට අපහාස කෙරුණු ෆේස්බුක් සටහන් කිහිපයකට විරුද්ධවම එම Posts වලට පහලින් කිෂානිව අගය කරමින් බුද්ධිමත් හා තර්කානුකූල අදහස් දැක්වු Comments රැසක්ම කියවන්නට ලැබුණි.

අපහාසය, උපහාසය හෙළා දකිමින් ඒවා ප්‍රතික්ෂේප කොට වඩාත් හරවත් සංස්කෘතික සංවාදයක් බවට ලක්විය හැකිව තිබු මේ සිදුවීම දේශපාලන අවියක් කර ගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහය. මහින්ද රාජපක්ෂලාට හිතවත් කම් පෙන්වන්නේ යයි යහ පාලන රජය සිතන දෙරණ නාලිකාව සමඟ දැඩි කෝපයෙන් පසුවන අගමැතිවරයා දෙරණේ සේවය කරන සංඛ අමරජීත් ගැන මෙසේ කීවේය.

"ප්‍රවෘත්තිවලදි නිදහස් දිනයෙන් පස්සෙ දන්නෝ බුදුන්ගේ ගීතය ගයනා කළා කියල ඒ ගායිකාවට බැල්ලියක් කෑගහනවා වගේ කියලා කිව්වා. ............. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලූ වැඩ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ."

තරුණ මාධ්‍යෙවිදියෙකු වන සංඛගේ බැළලි කතාව මෙන් නොව පරිණත දේශපාලඥයෙකු වන අගමැතිවරයාගේ බලූ කතාව කෙතරම් ලැජ්ජා සහගත එකක් ද යන්න අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ.

ප්‍රවීණ පුවත් පත් ලේඛකයෙකු වන The Island පුවත්පතේ කීර්ති වර්ණකුලසුරිය ගෙම්බා කියමින් අපහාස කල අගමැතිවරයාගෙන් මීට වඩා වෙනස් දෙයක් බලාපොරෙත්තු වීමට පුළුවන් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. වඩාත් දුෂ්ඨ අපහාසය "ගෙම්ඛෙක් වගේ" කීමද නො එසේ නම් "බැළලියක් වගේ" කීමද කියා අගමැතිගෙන් විමසන්නට කෙනෙකු නැති වීම කණගාටුවට කරුණකි. සංඛ කීව්වේ "ඥාව් ඥාව් කියන බැළලියෝ" කියාය. සංඛගේ කටින් පිටවු බැළලිය, අගමැතිගේ කටින් බැල්ලිය බවට පත් වුයේ අහම්බයකින්, හෝ අත්වැරදීමකින් නොවන බව මගේ මිත්‍ර දේශපාලක විචාරකයෙක් කිවේය.

"රනිල් බැළලිව බැල්ලි කරල කිව්වේ අත් වැරැද්දකින් නොවෙයි. දෙරණ මාධ්‍යවේදියාගෙ ප්‍රකාශය බරපතල කරන්නයි. එය පහත් ප්‍රකාශනයක් බව රටට අඟවන්නයි. ඊටත් වඩා රනිල්ට ඕන වුනේ දෙරණ බලධාරීන්ට බල්ලන් කියන්නයි"

අගමැතිවරයා සිය බලූ කතාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් තර්ජනාත්මකව කියා සිටියේ දෙරණ ආයතනයේ ප්‍රධානීන් ගෙන්වා සංඛ අමරජීත් පිළිබඳව ගත් පියවර කුමක්දැයි විමසන බවය. ඔහු පිළිබඳ පරීක්ෂණයක් කළේ දැයි විමසන බවය. දැන් මේ වන විටත් දෙරණ බලධාරීහු සංඛ ගේ වැඩ තහනම් කොට එම සිදුවීම පිළිබ`ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි. අගමැතිවරයාගේ උපාය වී ඇත්තේ විවේචන ගෙන එන මාධ්‍යවේදීන්, හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම බවට සැකයක් නැත.

රාජපක්ෂ සමයේදි රටේ සියළුම ජනමාධ්‍ය රජයට පක්ෂපාතීිත්වය පෙන්නුම් කළ බව සැබෑය. එදා විපක්ෂය කියා සිටියේ රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය නිදහස උදුරා ගෙන ඇති බවය. අරලිය ගහ මැදුරට ගෙන්වා කන්න බොන්න දී, දිනාගන්නට බැරි වෙන මාධ්‍යවේදින් හා මාධ්‍ය ආයතනවලට තර්ජනය කොට හෝ බිය ගන්වා ජනපති මහින්ද ඔවුන් නිහඬ කර ගත් බව එදා විපක්ෂය කියා සිටියේය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම විපක්ෂයේ ප්‍රබල සටන් පාඨ බවට පත්විය. රටේ ජනතාව රාජපක්ෂ පාලනය පරාජය කරන්නට තුඩු දුන් හේතු අතරට, යහපාලනයෙන් පොරෙන්දු වු මාධ්‍ය නිදහසද එක්විය. එහෙත් දැන් සිදු වන්නේ එම පොරොන්දුවල අනෙක් පැත්තය.

ඔපෙරා ගායනයක රස විඳින්නට හැමදෙනාටම නොහැකිය. 2013 වසරේ හොලන්ඩ් ගොට් ටැලන්ට් සුපිරි තරගයේ වේදිකාවට නව හැවිරිදි දැරියක් පැමිණියාය. ඇය ඔපෙරා ගීතයක් ගයනා කරන බව කී විට විනිසුරු මඬුල්ල ද ප්‍රේක්ෂකාගාරය ද පුදුමයට පත් විය. දැරිය ලෝක ප්‍රකට ඔපෙරාවක් වන O Mio Babbino Caro ගීතය ගයනා කරන්නට පටන් ගත්තාය. එම ගීතය අවරුදු 200ක් තරම් පැරණි ගීතයකි. Amira දැරියගේ ඔපෙරා ගී රාවයෙන් ප්‍රේක්ෂකාගාරය මවිතයට පත් විය. ඇයගේ ගායන විශිෂ්ඨත්වය කෙතරම්ද යත්, විනිශ්චය මණ්ඩලය ඇයට ගොල්ඩන් ටිකට් නම් අවසන් වටයට සෘජුව ඉදිරිපත් විමේ අවස්ථාවක් ලබා දුන්නේය. අවසන් වටයේ දී තවත් ප්‍රකට ඔපෙරා ගීතයක් ගැයු දැරිය තරගයේ ජයග්‍රාහිකාව වෙමින් ලොව ප්‍රකට ගී තරුවක් පත්ව සිටින්නීය. එම දැරිය එදා ප්‍රථම වරට වේදිකාවට ගොඩවු විට විනිසුරු ගෝඩන් සියළු දෙනා හිනස්වමින් කියා සිටියේ "ඔයා කියන්නේ ඔපෙරා සින්දුවක් නම් මට කණේ ඇබ දෙකක් ගහගන්නට සිදු වේවි නේද" කියාය. 

මේ ලිපිය කියවන ඔබට අප ළමා අවධියේ කිය වු ටින් ටින් චිත්‍ර කතා පොත් අමතක නැතැයි සිතන්නෙමි. එම චිත්‍ර කතා වලදී අපට හමුවන අපුරු චරිතයක් වන බියංකා (Biyanka Castfaiore) ඔපෙරා ගායිකාවකි. ඇය ඔපෙරා ගායනයක් ආරම්භ කරන්නට සැරසෙත්ම කැප්ටන් හැඩොග් කන්වල ඇබ ගසා ගනියි. එක්කෝ ඇයගේ හඩ නැසෙන දුරක සැඟවෙයි. මන්ද බියන්කාගේ ඔපෙරා ගායනයේ උච්චතම ස්වරයේදි අවට ඇති වීදුරු පවා පිපිරී යන නිසාය.

මා ඉහත උදාහරණ ගෙන දක්වන්නේ බොහෝ දෙනෙකුට ඔපෙරා ගායනය විඳගන්නට අසීරු බව පෙන්වා දීමටයි. කිෂානි අපේ රටට ආඩම්බර විය හැකි ගායිකාවකි. 2008 වසරේ ජාත්‍යනතර ගායනා තරගාවලියේ දී ඈ ඉදිරිපත් කළ Signore Ascolta ගීතය ඉතා උසස් ගායනයක් ලෙස පිළිගනු ලැබීය.

ගැහැනුන්ට හා දරුවන්ට අවමන් කරන ජාතිය ශිෂ්ඨ සමාජයක් නොවේ. පසුගිය නිදහස් දිනය දවසේ කිෂානි ජයසිංහ නම් ශ්‍රී ලාංකේය ඔපෙරා ගායිකාව දන්නෝ බුදුන්ගේ ගීතය ගයනා කිරීම නිසා සමාජ ජාල වෙබ් අඩවි වලින් ඇයව උපහාසයට හා අපහාසයට ලක් කරමින් පරිභව කල සියළු දෙනා එය දැනගත යුතුය. ඔවුන් ලැජ්ජා විය යුතුය. කණගාටු විය යුතුය.

කිෂානිගේ ගායන ප්‍රතිභාවට ගරු කළත් ඇගේ දන්නෝ බුදුන්ගේ ගීතය මගේ ප්‍රසාදය දිනා ගත්තේ නැත. කිෂානි දන්නෝ බුදුන්ගේ ගායනා කරද්දි ඇයට පියානෝවෙන් සහාය වු සවුන්දරී ඩේවිඩ් තම Soul සංගීත කණ්ඩායම සමග ගැයු දන්නෝ බුදුන්ගේ ගීතය තරම් වත් කිෂානි ගේ ගීතය මගේ හදවතට ලං වුයේ නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ උදම් අනන හියුබට් රාජපක්ෂ 1920 දී පමණ ගැයු දන්නෝ බුදුන්ගේ ගායනය රසවත් එකක් නොවේ. තිස්ස අබේසේකර කියන්නේ කොළඹ ඉහළ පන්තියට රස විඳින්නට පහසුව පිණිස පියානෝ වාදනය කරන්නට පුළුවන් සේ හියුබට් රාජපක්ෂ දන්නෝ බුදුන්ගේ ගීතය සකස් කරගත් බවයි. මට නම් එය බටහිර තාලයට ගැයුනු නීරස ගායනයකි.

මගේ මේ විවේචනය නිසා මටත් බලූ බැනුම් අහන්නට සිදුවේදැයි කල්පනා කරමින් මේ ලිපිය අවසන් කරන්නෙමී. 

Rate this item
(8 votes)