February 26, 2020

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව විසින් සංචාරක තහනමක් පැනවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි අතරම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ද සද්භාවයෙන් නොවන බවත් ආණ්ඩුව මෙයින් හුදු දේශපාලන වාසියක් පමණක් අත්පත් කරගැනීමට උත්සාහ දරමින් සිටින බවත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

ඇමරිකාව මුලින්ම සංචාරක තහනම පැනවූයේ තමන්ට බවත් අදටත් තමන්ට ඇමරිකාවට වීසා නොලැබෙන බවත් සිහිපත් කළ ඒ මහතා අද කිඹුල් කඳුළු හෙළන අය එදා ඊට එරෙහිව කිසිවක්ම සිදු නොකළ බව පෙන්වා දුන්නේය. 

"එතුමා හොඳ නිලධාරියෙක්, අපේ යුධ හමුදාපති වර්තමාන. එතුමාට තහංචියක් දාපු එක අනිවාර්යයෙන්ම අපට අනුමත කරන්න බෑ. නමුත් මම මෙතනදි මතක් කරලා දෙන්න ඕනෙ, එතුමාට පමණක් නොවෙයි යුධ හමුදාවේ 50කට අධික සංඛ්‍යාවකට ඇමරිකා එක්සත් ජනපදය මේ තහංචිය දාලා තියෙනවා. ඉස්සෙල්ලම ඔය තහංචිය දැම්මෙ මට. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ එවකට හිටපු ජනාධිපති එක්ක, ඔහුගේ නියෝජිතයෙක් හැටියට, ඔහුත් සමඟ යන ඇමතිවරු කීපදෙනෙක් යන්න හිටියා සැසිවාරයට, මම සහභාගී වෙන්න යනකොට මට වීසා දුන්නෙ නෑ. මට ඇමරිකාවට ඇතුළ් වෙන්න අද වෙනකොටත් වීසා නෑ. මගේ තිබුණු ග්‍රීන්කාඩ් එකත් ඒගොල්ලො අවලංගු කරලා තියෙන්නෙ. එතකොට මට ඒ තත්වයට මුහුණ දෙන්න වුණේ යුද්ධයට අණ දුන්න හමුදාපති හැටියට. ඒ වෙලාවෙ ඔය දැන් කෑකෝ ගහන, දේශපාලන වාසිගන්න හදන අය, මේක වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන අය මං වෙනුවෙන් කතා කළේ නෑ. ඒක හින්දා වැඩේ වැරදියි, නමුත් දේශපාලන වාසි ගන්න හදන, කිඹුල් කඳුළු හෙළන අය කරන්නෙත් මේක සද්භාවයෙන් නෙවෙයි." 

පක්ෂය අභ්‍යන්තරයේ තවමත් නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතත් ජනතාව බලාපොරොත්තු වන වෙනස අලුත් සන්ධානය හරහා සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කෙසේ වෙතත් මාපලගම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේ නායකත්වය සම්බන්ධයෙන් තිබූ අර්බුදය මේ වනවිට විසඳී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"මේ වෙනකොට පක්ෂය එකඟ වෙලා තියෙනවා සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට යන්න. අලුත් සන්ධානයේ නායකයා ලෙස එතුමා අගමැති අපේක්ෂකයා කරනවා. කැමති ලේකම් කෙනෙක් පත් කරගන්න පක්ෂ නායකයා එකඟ වුණා. ප්‍රබලයන්ගේ හැසිරීම නිසා පක්ෂයට විරුද්ධ විවිධ මතපොහොට්ටුව ඒ මතවලින් ප්‍රයෝජනය ගත්තා. අපේ වැරදි අපි පිළිගන්න ඕන. ජනතාව පක්ෂයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. අලුත් සන්ධානය හරහා ඒ වෙනස කරනවා. පාක්ෂිකයන්ට වුණ අසාධාරණය අපි දන්නවා. උදව් කරන්න හැකියාව තිබුණ අය උදව් කළේ නෑ. ඒක නිසයි පක්ෂයට මෙහෙම වුණේ. ඒවා කතා කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාව එලෙව්වා. තව ඉදිරියටත් එහෙම කළාට කමක් නෑ. මේ සන්ධානේ මට ඉන්න පුළුවන්. සන්ධානයෙන් මම ඡන්දේ ඉල්ලනවා. අපේ පක්ෂයේ ගෞරවය රැකගන්න ඕන. සමහරු කියනවා ගෝඨාභය එක්ක ආණ්ඩු හදනවා කියලා,මට බෙල්ලේ වැළ දාගන්න හිතෙනවා. කොහොමද මෙහෙම මිනිස්සු එක්ක දේශපාලනය කරන්නේ. නිවට මානසිකත්වයකින් දේශපාලනය කරන්න බෑ. පොහොට්ටුවේ අයත් එක්ක මධුසමයක් ගත කරන්න අපිට අවශ්‍ය නෑ. අතීතයේ මධුසමයෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඒ පාඩම සමහරුන්ට අමතකයි. මැතිවරණයේ ප්‍රතිඵලය කොහොම වුණත් 2025 අපේ ආණ්ඩුවක් හදන්න ඕන."

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව අත් අඩංගුවට ගන්නා බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මාසයක් තුළ අර්ජුන් ඇලෝශියස්ට එරෙහි විදෙස් ගමන් තහනමත් ඉවත් කළ බවත් ඒ අනුව ආණ්ඩුව මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින්නේ බැඳුම්කර වංචාව යටගැසීම සඳහා බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. 

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

"අපේ ආණ්ඩුව මාරු කළේ ඉතාම සුළු සුළු දේවල්වලට. වැඩිම තිබුණු චෝදනාව තමයි බැඳුම්කර ප්‍රශ්නය. නමුත් දැන් ඔප්පු වෙලා තියෙනවා ඒවගේ 600 ගුණයක් බැඳුම්කර නිවාඩ් කබ්‍රාල් නිකුත් කරලා තියෙනවා කියලා. නිවාඩ් කබ්‍රාල් කෙට්ටුවට හිටියට බරපතළ වැඩ කරලා තියෙනවා. කෑම හොඳට කාලා බීලා ඉඳලා තියෙනවා. බිලියන 10ක් අපෙ ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් එනකොට බිලියන 6000ක් රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඒ ආකාරයෙන්ම නිකුත් කරලා තියෙනවා.  අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න කියලා අපි අභියෝග කරනවා. අනිවාර්යයෙන්ම අල්ලන්නෙ නෑ. අර්ජුන් ඇලෝශියස් කියන්නෙ නාමල් රාජපක්ෂගෙ හොඳම යාළුවෙක්. නාමල් රාජපක්ෂගෙ නොයෙක් මැතිවරණ ව්‍යාපාරවලට උදව් කරපු කෙනෙක්. ඒක හින්දා තමයි අර්ජුන් ඇලෝශියස්ට රටින් පිටවෙන්න බෑ කියලා දාලා තිබ්බ තහනම මේ ආණ්ඩුව ඇවිත් මාසයක් යන්න ඉස්සෙල්ලා ඉවත් වුණා. අනිවාර්යයෙන්ම අර්ජුන් ඇලෝශියසුත් ආපහු මේ රටට එන එකක් නෑ.  ඒ නිසා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මේ දෙන්නට නඩු දාලා මේකෙ තීරණයක් තියෙනවා කියලා. මේ ආණ්ඩුවට අපි අභියෝග කරනවා, මේ මාස 4 ඉවර වුණාම කරනවා කරනවා කියන එක හරියන්නෙ නෑ.  ඡන්දෙන් පස්සෙ කරනවා කරනවා කියන කතා අපි විශ්වාස කරන්නෙ නෑ. කරලා පෙන්නන්න. කියපු තරමට නම්, පම්පෝරි ගහපු තරමට නම් මේ වෙනකොට අර්ජුන මහේන්ද්‍රන් ගෝල්ෆේස් එකෙ කකුල් දෙකෙන් එල්ලලා තියෙන්න ඕනෙ. කියපු දේවල් එකක්වත් සිද්ධ වෙන්නෙ නෑ"

ගොඩ නගන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම එකඟ වූ පසු එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි එම පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

පක්‍ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීම කල්දමමින් සිටින එක්සත් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ දී ගොඩනගන නව සන්ධානයේ කටයුතු සඳහා ද බාධා කරමින් සිටින බව මන්ත‍්‍රීවරයා කීවේය.

‘මලඉලව් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් නිසා පක්‍ෂය වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබෙනවා’ යැයි ද සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.

තමන්ට එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි වූයේ පක්‍ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බව ප‍්‍රකාශ කළ නිසා බව කී සරත් ෆොන්සේකා මහතා තමන් එම තීරණය අනුමත නොකරන නමුත් එය ඉල්ලාගෙන පස්සෙන් නොයන බව ද සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ  (7) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

නාමිකව, ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්‍ෂ නායකයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා වුවත් ප‍්‍රායෝගික නායකයා වන්නේ ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂකයා හා සන්ධාන නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින ඇතැමුන් දේශපාලන වශයෙන් ක‍්‍රියාකාරී නැති, පාක්‍ෂිකයින් දෙදෙනෙකු හෝ ඒකරාශී කරගැනීමට නොහැකි අය බව කී මන්ත‍්‍රීවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිතවතුන් පත්කර ගැනීමෙන් පක්‍ෂයට ප‍්‍රයෝජනයක් වන්නේ නැතැයි ද කීවේය.

ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛව ගොඩනගන නව සන්ධානය යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්යාංධිකාරි මණ්ඩලය ඊයේ (29) දිනයේ පත් කෙරුණු අතර අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැති බව සඳහන් වෙයි. 

ඒ අනුව ඔවුන් දෙදෙනාට අද (30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්යානධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිතව තිබේ.

එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

බහුතර එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ හා පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස අනුව වසර ගණනාවක් නායකත්වය දැරු රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය හිමි විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුමය යන ස්ථාවරයෙහි තමන් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. 

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හැට ගණනක් අතරින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන්නේ 12 - 13ක් වැනි පිරිසක් පමණක් බව ඒ මහතා සඳහන් කළේය. 

"වර්තමාන නායකයා අවුරුදු 25ක් දැන්. එතුමා යා යුතුයි කියන මතයේ මං පුද්ගලිකවත් ඉන්නවා. මන්ත්‍රීලා ඉන්නවා හැට ගාණක්. එයින් මං හිතන්නේ 12ක් 13ක් විතර කියනවා එතුමා ඕනේ කියලා. අනිත් ඔක්කොම කියන්නේ නායකත්වය මාරු වෙන්න ඕනේ, එතකොට සජිත් ප්‍රේමදාස තමයි විකල්පය කියලා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (15) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

යහපාලනය මුවාවෙන් පසුගිය රජය ජනතාව අමතක කළ  බවත් එම වගකීමෙන් සියයට 99ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා සතු බවත් හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ස්තූතිය ප්‍රකාශ කිරීම සඳහා කිරිබත්ගොඩදී පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය.

“අපට අවශ්‍ය විදිහට මේ ජනතාව බලා ගන්න අපිට බැරිවුණා. යහපාලනය කියලා කොඩිවිනයක් අපි ඔළුවේ දාගෙන ඒ හරහා අපි ජනතාව අමතක කළා. ඒකට සම්පූර්ණ වගකීම ගන්න ඕන රජය. රජය කිව්වහම මම ඒකෙත් සියයට 99ක්ම මම වගකීම පවරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකතුමාට. රැකියා නොදුන්නේ නෑ. රැකියා දුන්නා සමහර අමාත්‍යවරු හත් අට දෙනෙක්. ඒ ආකාරයට අපේ රජය හුඟක් වැරදි කළා. ඒවායේ ප්‍රථිඵල තමයි අපිට නෙලා ගන්න සිදුවුණේ. අවසානයේදී ඒ ප්‍රතිඵල වල ගොදුරක් වුණේ අපේ ජනාධිපති අපේක්ෂකතුමා.”

2015ට පෙර පැවති රජය කාලයේ සුදු වෑන් සංස්කෘතියක් මෙරට තිබූ බවත් ඒවාට මුහුණදුන් පුද්ගලයන්, මුහුණ දුන් ආකාරය, ඒවා මෙහෙය වූ ආකාරය තමන් දන්නා බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවකට සිටි බලධාරීන් ඒවාට වගකිව යුතුව ඇතැයි ද ඔහු පවසයි.

සුදුවෑන් සම්බන්ධයෙන් තමන් හොඳින් දන්නා බවත් දැක ඇති බව පැවසූ ඔහු එහි පල විකා විපාක ද දන්නා බවද සඳහන් කළේය.

එමඟින් ඛේදවාචකයට ලක් වූ පිරිස් ගැන ද තමන් දන්නා බවද ඒ ගැන කිසිම සැකයක් නැතැයිද ඔහු පැවසුවේය.

නමුත් රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවට ඉදිරිපත් කරන ලද සුදු වෑන් රියදුරන් හෝ එකී සිදුවීම ගැන තමන්ද ඇසුවේ මුල් වතාවට බවත් එහි සත්‍ය අසත්‍යතාවය ගැන තමන්ට කිසිවක් කිව නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මැතිවරණයකට ඉදිරිපත් නොවන්නේ යැයි තමන් වෙත ද පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. 

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ එවැනි තීරණයක නම් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත බාරදිය යුතු බව ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Page 1 of 6