March 29, 2020

ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයට විදුලි බලය ලබා දීමේ කටයුත්ත සම්පුර්ණ කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබේ.

ඇමති රවි කරුණානායක මහතාට අයත් විදුලි බල මණ්ඩලය හා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අයත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අතර මේ සම්න්ධයෙන් දැඩි විවාදාත්මක තත්වයක් ඇති විය.

එම ඇමතිවරුන් දෙදෙනාට වක‍්‍රාකාරයෙන් එකිනෙකාට චෝදනා කර ගත්හ.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක් විදුලිය ලබා දීමේ කටයුත්ත වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කලහ.

තමාගේ ප්‍රකාශයක් යූ ටියුබ් හරහා විකෘති පළ කිරීම හේතුවෙන් සිය කීර්ති නාමයට හානි කර ඇතැයි සඳහන් කරමින් කලකරු ඉරාජ් වීරරත්නගෙන් රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබේ.

එම මුදල් නොගෙවන්නේ නම් නඩු මගට පිවිසෙන බවත් ඉරාජ්ට යොමුකර ඇති එන්තරවාසියේ සඳහන් වෙයි.

ඉරාජ් වීරරත්න සඳහන් කළේ ඒ වෙනුවෙන් තමන් පිළිතුරු ලිපියක් තම නිතිඥවරු මාර්ගයෙන් එවන බවයි.

No photo description available.

No photo description available.

ඉරාජ් වීරරත්න ෆේස්බුක් තබා තිබු සටහන පහතින්,

තමන් සිදුකළ ප්‍රකාශයක් විකෘති කර සමාජ ජාලා හරහා පළකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ ගායක ඉරාජ් වීරරත්න විසින් තමා සමාජ මාධ්‍යකට පළ කළ අදහස් විකෘති කරමින් සංස්කරණය කර සමාජ ජාල වෙත මුදා හැර ඇති බවට චෝදනා කරමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදි රාවනා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු පිරිසක්ද පොලිසියට පැමිණ තිබුණි.

එහිදි දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමානායක මහතා භික්ෂූන් වහන්සේට අපහාස වන අන්දමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂය ලෙස ගන්නා පියවර සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ඊයේ රාවණා බලය සංවිධානය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වෙත පැමිණියේය.

එලෙස පැමිණි භික්ෂූන් වහන්සේලාට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා හමුවීමට අවස්ථාව හිමි වුණි.

මේ අතර අදත් භික්ෂූන් වහන්සේ හා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ රන්ජන් කළ ප්‍රකාශය පිටුපස පක්ෂයේ ඉහළ පිරිස් සිටින බවයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම ඩී.වි.චානක මහතා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් සමස්ථ ආණ්ඩුවේ මතය හුවා දැක්වු බවයි.

අමාත්‍ය පී.හැරිසන් සඳහන් කළේ අමාත්‍ය රන්ජන් රාමනායක වහාම සංඝරත්නයෙන් සමාව ගතයුතු බවයි.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසුවේ බෞද්ධ හා කතෝලික ජනතාව අතර විරසකයක් ඇති කිරීමට දැනුවත්ව එජාපය කටයුතු කරන බවයි.

කූරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය.

එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලි ගත්තේය.

අවසානයේ වීරවංශ මහතා කියා සිටියේ ‘කූරගලට විදුලියත් නෑ - ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවත් නෑ’ යනුවෙනි.

සිය ෆේස්බුක් පිටුව ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් ගායක ඉරාජ් වීරරත්න මහතා ඊයේ (10) පැවැසීය.

ෆේස්බුක් පිටු 1,500කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ඇති බවත් මේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බවත් හෙතෙම කීය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා ද ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බැවින් අපට ද ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් ඇති වන බවද ඔහු කීවේය. 

කොළඹ, කොල්ලුපිටිය වොන්ඩර් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම කරුණු සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ ඔහු මෙසේ ද කීය. 

“අපිට කිසිදු දේශපාලනයක් නැහැ. සමාජ මාධ්‍ය, මේ ෆේස්බුක් පිටු හරහා බොහෝ දේවල් කළා. එක් අවස්ථාවකදී පිළිකා රෝගීන් වෙනුවෙන් කතා කළා. ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරගැනීම වෙනුවෙන් කතා කළා. ලංකාවේ තියෙන ප්‍රශ්න ලෝකයට කිව්වා. ලසිත් මාලිංග පවා අපි කරපු දේවල්වලට උදව් කළා. ඇමෙරිකාව, එංගලන්තේ, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගොඩක ඉන්න ලාංකිකයෝ අපි කරපු දේවල්වලට උදව් උපකාර කළා. මුදල් දුන්නා. කූරගල සිදුවීම තවත් එකක්. ගමට විදුලිය දෙන්න කියලා අපි ෆේස්බුක් කැම්පේන් එකක් කළා. සජිත් ඇමතිතුමාටත් කතා කළා. පහුගිය දවසක පෝස්ටර් ගහන එකට විරුද්ධව කතා කළා.  අපි හැමෝටම ටීවී චැනල් නැහැ. පත්තර නැහැ. අපිට කතා කරන්න තියෙන එකම මාධ්‍ය සමාජ මාධ්‍යයි. අපි සිංදුවක් කළොත් දාන්න තියෙන්නේ යූ ටියුබ් විතරයි. අපිට අදහස් ප්‍රකාශ කරන්නේ තියෙන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය විතරයි. අපි කරපු දේවල් නිසා ෆේස්බුක් ඔස්සේ අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වුණා. ඒ නිසා අපි මර්දනය කරන්න ද මෙහෙම කරන්නේ කියලා අපට සැකයක් එනවා. ඒ නිසා මේ ගැන හොයලා බැලුවා.  මට වුණ දේ හෙට ඔයාලට වෙන්න පුළුවන්. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ගැන ඉල්ලනවා. ඉස්සරහට මැතිවරණ එනවා. මැති ඇමැතිවරුන්ගේ ෆේස්බුක් පිටු පවා මේ විදියට ගැලවෙන්න පුළුවන්. මගේ ෆේස්බුක් පිටුවෙන් මම ගහන්න මරන්න කියලා නැහැ. අපි වෛරය පතුරුවලා නැහැ. අපිත් සිංහල, මුස්ලිම්, දෙමළ හැමෝම වැඩ කරනවා. හැබැයි අපි මිනිස්සු වෙනුවෙන් කතා කරනවා. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මාධ්‍යලේකම්ට මේ ගැන චෝදනා එල්ල වෙලා. ඒ ගැන ඔහු පැමිණිල්ලක් කරලා තියෙනවා. එතකොට ජනාධිපති මාධ්‍ය අංශ ගැන සැකයි කියලා ඔහු කියනවා. එතකොට අපිටත් ඒ ගැන සැකයක් එනවා. ආණ්ඩුවේ අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම් කියනවා ජනාධිපති මාධ්‍ය අංශය සැකයි කියලා. එතකොට අපිටත් ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් ඇති වෙනවා. ෆේස්බුක් පේජ් 1500ක් ඉවත් කරලා තියෙනවා. මේ මර්දනය කරන්නේ ඔවුන්ද කියලා අපිට සැකයක් ඇති වෙනවා. කවුද මේ දේවල් පාලනය කරන්නේ ? අනිත් එක ෆේස්බුක් එකේ තියෙනවා ප්‍රජා ප්‍රමිත (කොමියුනිට් ස්ටෑන්ඩර්ඞ්ස්) කියලා. මේක තියෙන්නේ ෆේස්බුක් එකේ වෛරී ප්‍රකාශ වළක්වන්න. ලංකාවෙනුත් කට්ටියක් ෆේස්බුක් එකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. අපිත් මේ දේවල් උල්ලංඝණය කියලා අපිට මීට කලින් දැනුම් දුන්නා. 

"ෆේස්බුක් එකේ ඥානසාර හාමුදුරුවන්ගේ නම ටයිප් කරන්න බැහැ. හාමුදුරුවන්ගේ ඡායාරූපයක් දාන්න බැහැ. ෆේස්බුක් එකේ වැඩ කරන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් ගැන හොයලා බැලුවාම ඔවුන් එක්සත් ජාතික පක්ෂයට, මංගල සමරවීර අමාත්‍යවරයාට වැඩ කරපු අය. සිංහලෙන් තියෙන දේවල් මේගොල්ලෝ පරිවර්තනය කරනවා. මොවුන් තමයි මේ දේවල් ලෝකයට ගෙනි යන්නේ. මේ දේවල් තීරණය කරන්නේ එම පිරිස.  පක්ෂපාතී නැති ස්වාධීන පුද්ගලයන් මේ තනතුරුවලට පත් කරන්නැයි අපි ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටිනවා. ෆේස්බුක් සමාගමේ මූලස්ථානය මේ දේවල් දන්නේ නැහැ. ඒ නිසා ෆේස්බුක් සමාගමේ මූලස්ථානයට කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පිරිස ආණ්ඩුවට විරුද්ධ සියල්ල ඉවත් කරනවා.  එහෙත් ත්‍රස්තවාදී වැඩ කරපු අය තවමත් ෆේස්බුක් එකේ ඉන්නවා. සහරාන්ගේ ගෝලයෝ තාමත් ෆේස්බුක් එකේ ඉන්නවා. බුදු හාමුදුරුවෝ මීනිමස් කෑවා කියපු අය තාම ෆේස්බුක් එකේ ඉන්නවා. එයාලව තහනම් කරලා නැහැ. ෆේස්බුක් එකේ අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩුව අපේ කට්ටිය මර්දනයට යොදාගෙන තියෙනවා.  මෙතැන වෙන්නේ ඉතාම සංවිධානාත්මක වැඩක්. එතකොට මේ වෙන්නේ මර්දනයක්. මෙයාලා මේ ලෑස්ති වෙන්නේ ඡන්දෙට. ඒ පිරිස හිතනවා අපි ඔවුන්ට තර්ජනයක් කියලා. මේගොල්ලේ මේ බලන්නේ අලුත් ඡන්ද. ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වාම රැවටුණු පිරිසක් ඉන්නවා. මේ අවුරුද්දේ අලුත් ඡන්ද ලක්ෂ 17ක් ඉන්නවා."

ඉස්සරහට ජනාධිපතිවරණය එනවා. වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනාවේ සමාජ ජාල භාවිත කරන තරුණ පිරිස්. අද වැඩියෙන්ම කලකිරිලා ඉන්නේ මේ පිරිසමයි. ජනාධිපතිවරයා වගේම මේ ආණ්ඩුව විවේචනය කරන්නෙත් මේ පිරිසමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවත් මේ දේවල් දන්නේ නැතුව ඇත. මෙහෙම මර්දනයක් වෙනවා කියලා ජනාධිපතිවරයාවත් දන්නේ නැතුව ඇති. ඒ නිසා ජනාධිපතිවරයා දැනුවත් කරන්න ඕනේ කියලා අපි හිතුවා. ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම් කියනවා ජනාධිපති මාධ්‍ය අංශය සැකයි කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ විදියේ මර්දනයක් වෙනවා කියලා ෆේස්බුක් සමාගමේ මූලස්ථානයට කියන්න ඕනේ. ෆේස්බුක් එකට දේශපාලනය ගේන්න එපා. ෆේස්බුක් එකේ රටේ නායකයෙක්, දේශපාලනඥයෙක්, ඇමැතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් විවේචනය කළාම වැරැද්දක් කළාම මෙහෙම කරන්න එපා. පෝස්ටර් ගහන්න එපා කියන එකේ අපේ අයිතියක්. ලොකු පිරිසක් සමාජ ජාල, ෆේස්බුක් හරහා එකතුවීම දේශපාලකයන්ට කරදරයක් වෙලා. ඒක නිසා තමයි ඔවුන් අපි මර්දනය කරන්න හදන්නේ. සහරාන්ලා අවුරුදු ගාණක් ෆේස්බුක් එකේ ඔවුන්ගේ ප්‍රචාරණය කොහොමද ගෙන ගියේ. මට වෙච්ච දේ හෙට ඔයාලට වෙන්න පුළුවන්. මාධ්‍යවේදීන්ට වෙන්න පුළුවන්. මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න කියලත් මම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ගෙනුත් මම ඒ ඉල්ලීම කරනවා. මේක රටේ තරුණ තරුණියන්ට ලොකු ප්‍රශ්නයක්. ෆේස්බුක් එක කියන්නේ නිදහස් තැනක්. අපිට කැමැති දෙයක් කියන්න ලියන්න තියෙන තැන ෆේස්බුක් එක. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ටවත් ෆේස්බුක් එක පාලනය කරන්න බැහැ. ෆේස්බුක් කියන්නේ නිදහස් තැනක්.”

මෙහිදි අදහස් දැක්වූ සංගීතවේදී පේෂල මනෝජ් මහතා මෙසේ කීය.

“අපි තැනකට ආවේ නිර්මාණ කරලා මහන්සි වෙලා.අපි නිර්මාණ කරලා තමයි මිනිස්සු එකතු කරගෙන තියෙන්නේ. අපිට දේශපාලනයක් නැහැ. අපි වටා විශාල පිරිසක් එකතු වෙලා තියෙන්නේ අපි කරපු නිර්මාණ නිසා. දේශපාලනඥයන් අපිට කතා කරලා සහාය ඉල්ලනවා.හොඳ වැඩක් නම් අපි අනිවාර්යෙන් එයට සහාය දෙනවා. එහෙම සහාය දුන්නා කියලා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ අපි සහාය දීපු දේශපාලනඥයෙක් වැරැද්දක් කළාම ඔවුන් විවේචනය කරන්න අපට අයිතියක් නැද්ද. අපිට දේශපාලනයක් නැහැ. අපිට දේශපාලකයන්ගේ මෝඩ වැඩ ගැන බලන්න බැහැ. හිතළුවලට වැඩ කරන්න බැහැ. අවහිර කරනවා නම් ඉවත් කරනවා නම් ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉන්දියාවේ දේශපාලකයන්ට ඉන්දියාවේ ආණ්ඩුවට පුළුවන් ද ෂාරුක් ඛාන්ගේ ෆේස්බුක් පිටුව තහනම් කරන්න. එහෙම කළොත් ඊළඟ දවසේ ඉන්දියාවේ ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා. ආණ්ඩුවත් තහනම් වෙනවා.  ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායක මේ හැමෝම දේශපාලකයෝ මේ රටේ මිනිස්සු. අපිත් මේ රටේ මිනිස්සු. දේශපාලකයන්ට අපි වරප්‍රසාදයක් දීලා තියෙනවා. රට වෙනුවෙන් දෙයක් කරන්න. අපිට කමක් නෑ ඒගොල්ලෝ මුදු දැම්මට. ඒගොල්ලෝ වාහනවල යද්දි අපි අයින් වෙලා යන්නං. අපි එකතුවෙලා වැඩ කරමු. අපි බ්ලොක් කරන්න එපා. ෆේස්බුක් පේජ් තහනම් කරන්න එපා. මේවා විතරයි අපිට තියෙන්නේ. ඕගොල්ලෝ ගොඩ යන්න. ලංකාවේ තියෙන මැණික් දාගන්න. අපි කියන්නේ රටට දෙයක් කරන්න කියලා. ඕගොල්ලෝ ඕන දෙයක් කරන්න, හැබැයි සමාජ මාධ්‍ය අවහිර කරන්න ලෑස්ති වෙන්න එපා. මේක අපේ රට. අපේ රටේ අපිට නිදහසේ ඉන්න ඕනේ. සමාජ මාධ්‍යවලින් යම් විනයක් හැදිලා තියෙනවා. අපි වුණත් වැරැද්දක් කරන්න බයයි. මොකද ෆේස්බුක් දායි කියලා බයයි. සමාජ මාධ්‍යවලින් අපි බොහෝ දේවල් මිනිස්සුන්ට කියනවා. අපි වැඩසටහන්වලට ගියාම දුක් විඳින මිනිස්සු ඉන්නවා. රටේ ප්‍රශ්න දකිනවා. මේවා අපි රටට ලෝකයට කියන්නේ ෆේස්බුක් එකෙන්. ෆේස්බුක් එක වැරැදි විදියට භාවිත කරන අයත් ඉන්නවා. අපි කරන හැමදේටම තියෙන්නේ ෆේස්බුක් නෙමෙයි. අපේ නිර්මාණ සමාජයට ගෙනියන්න තියෙන්නේ සමාජ මාධ්‍ය විතරයි. වත්මන් ජනාධිපතිවරයාට වැඩියෙන්ම සහාය ලැබුණේ ෆේස්බුක් එකෙන්. මමත් වත්මන් ජනාධිපතිවරයාට සහාය දුන්නා. ඉරාජ් කිව්වාම මම මහින්ද රාජපක්ෂ මහතාට ගීතයකුත් නිර්මාණය කරලා දුන්නා. ඒක කලාව. එදත් මාධ්‍ය මර්දනය තිබුණා. අපි කතා කරන්නේ රට වෙනුවෙන්. අපි ආණ්ඩුවෙන් මුකුත් අරගෙන නැහැ. අපි අපේ සල්ලිවලින් නිර්මාණ කරන්නේ. තමන්ට දීලා තියෙන බලය අනිසි ලෙස පාවිච්චි කරන්න එපා. ඉස්සරහට පත්වෙන්නේ මේ ආණ්ඩුවම වෙන්න පුළුවන්. වෙනම ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා කොයි ආණ්ඩුව ආවත් අපි මර්දනයට වාරණයට විරුද්ධයි. ඉස්සරහට මෙහෙම මාධ්‍ය සාකච්ඡා තියෙන්න ලැබෙන එකක් නෑ කියලා අපි හිතනවා.” 

මෙහිදි අදහස් දැක්වූ නීතිඥ ප්‍රේම්නාත් සී. දොලේවත්ත මහතා මෙසේ කීවේය.

“වාරණය ශිෂ්ඨ සම්පන්න සමාජයකට සුදුසු නැහැ. වාරණය අතට ගන්න එපා. වාරණය ශිෂ්ඨ සමාජයක ලක්ෂණයක් නෙමෙයි. අපේ අදහස් දැක්වීම් වාරණය කරන්න එපා. ඒ වගේම මෙවැනි මර්දන වාරණවලට එරෙහිව අපි පියවර ගන්නවා. ඒ වගේම මම ඉරාජ් වීරරත්නගේ නීතිඥයා වශයෙන් කටයුතු කරනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් අපි පැමිණිලා කළා. මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් කළා. වෙනත් රටවල මිනිස්සු ආණ්ඩුව විවේචනය කරනවා. දේශපාලනඥයන් විවේචනය කරනවා. හැබැයි ඒ රටවල මෙහෙ වෙන්නේ නැහැ”. 

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් 1500ක් පමණ ඉවත් කර ඇතැයි ඉරාජ් විරරත්න මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.  

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අද සමාජ මාධ්‍ය කොච්චර බලවත්ද කියලා දන්නවා. අද වෙන විට ලංකාවේ ෆේස්බුක් පේජ් 1500ක් ගලවා තිබෙනවා. දැන් ගොඩක් අයට හඬ නගන්න විදිහක් නෑ. මගේ ෆේස්බුක් පිටුවේ ලක්ෂ 11 ක් හිටියා. අපි ෆේස්බුක් ගොඩක් හොඳ දේවල්වලට භාවිත කළා.අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වුණා. මේක මර්දනය කරන්නද අපේ පිටු ගැලෙව්වේ. මම එක්තරා කට්ටියක් සැක කරනවා. මගේ පිටුව සිකුරාදා ඉවත් කළා. ඒක හෙට ඔබට වෙන්න පුළුවන්. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේක වෙන්නත් පුළුවන්. මම ජාතිවාදයට සම්බන්ධ නෑ. නමුත් අපට අයිති දේවල් ගැන කථා කළා. කූරගල ගැන කථා කළා. දැන් ඥානසාර හිමියන්ගේ ඡායාරූපයක්වත් ෆේස්බුක් එකේ දාන්න බෑ. කවුද මේවා ලෝකෙට අරගෙන යන්නේ. කවුද මේවා පසුපස ඉන්නේ. ෆේස්බුක්වල වැඩකරන ශ්‍රී ලාංකියන්ගේ පිරිසක් ඉන්නවා. මේ වැඩ කරන අයගේ ගිණුම් බැලුවාම ඒ අයගේ ගිණුම් තුළ එක්සත් ජාතික පක්ෂයේ පෝස්ට් තිබෙනවා. 2017දී දාලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්. කවුද මේවා පාලනය කරන්නේ. අද වෙනකොට අබ්දුල් රාශික්ගේ පොටෝ දාන්න පුළුවන්. තහනම් කර තිබෙනවද? මේක සංවිධාතාත්මක කරන වැඩක්. දැන් මේ අය මැතිවරණයට ලෑස්ති වෙනවා. මේ අය ගොඩක් බලන්නේ අලුත් ඡන්ද.”

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලා ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් ගිණුම වාරණයට ලක්කිරීම පසුපස තමා සිටින බවට හඟවමින් ෆේස්බුක් තුළ ව්‍යාජ කරුණු හුවමාරුවීම සම්බන්ධයෙන් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ, මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

“මම මේකට සැක සහිත පුද්ගලයන් තිදෙනෙකු නම් කළා. ඉන් දෙදෙනෙකුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට ගියාම ජනපති ලේකම් කාර්යාලයේ සේවය කරනවා. අනෙක් පුද්ගලයෙක් 19 හැවිරිදි තරුණයෙක්. ඔහු ප්‍රභල දේශපාලඥයෙකුගේ පිටුවක වක්‍රව කටයුතු කරන කෙනෙක්.” යැයි ඔහු සඳහන් කළේය.

එසේම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ කරුණු 6ක් යටතේ තමන් සිය පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

කූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව  අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ අනුව පූජාභුමී ප්‍රවේශ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම - ලක්‍ෂ  95, ප්‍රවේශ මාර්ගය, චෛත්‍යය  සහ සම්පුර්ණ පූජාභුමියට විදුලිය ලබා දීම- ලක්‍ෂ  150, පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීම - ලක්‍ෂ 25, සනීපාරක්ෂක පහසුකම් ලබා දීම - ලක්‍ෂ 90, සංඝාවාස ගොඩනැගිල්ල ඉදි කිරීම - ලක්‍ෂ 80, කාර්යාලය සහ ගිමන් හල ඉදි කිරීම - ලක්‍ෂ 56 අවශ්‍ය ස්ථානයන් සඳහා ආරක්ෂිත වැට ඉදි කිරීම-ලක්‍ෂ 14 ආරක්ෂක කුටිය ඉදිකිරීම-ලක්‍ෂ 5 යනාදී වශයෙන් මුදල් වෙන්කර ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බලංගොඩ කූරගල විහාරස්ථානයට විදුලිබලය ලබාදීම සඳහා දරමින් තිබූ උත්සාහයට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බාධා එල්ල වී ඇති බව ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

විදුලිබල හා බලශක්ති ඇමැති රවී කරුණානායක මහතා විසින් කූරගල පන්සල සඳහා විදුලිය ලබා දීමට උපරිම මැදිහත් වීම් කරමින් තිබූ අවස්ථාවක මෙම බාධා කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එල්ලවූ බව ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ‘බෞද්ධ සජිත් කූරගල ලයිට් කපයි’ ශීර්ෂය සහිතවයි.

ඇමැති රවි කරුණානායක මහතාද සඳහන් කරන්නේ තම පාර්ශවයෙන් මේ සඳහා ගත් උත්සාහය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් නතර කර ඇති බවයි.

මෙය දේශපාලන කටයුත්තක් නොවන නිසා වහාම විදුලි බලය ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලයි.

මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට  විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙනතිබූ පියවර, මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව අත්හිටුවා තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ස්ථානයන්ට විදුලි ආලෝකය ලබාදෙන ලෙස කරතිබූ ඉල්ලීමකට අනුව කොන්දේසි කිහිපයක් යටතේ ඒ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හිමිවී තිබිණි. ඒ බව දන්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) විසින් 2019.06.26 දිනැති ලිපිය මගින්  කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් විෂයභාර අමාත්‍යවරයාගේ ‍උපදෙස් පරිදි ඊයේ (27) පෙරවරුවේ විදුලිය ලබාදීමේ කටයුතු වෙනුවෙන් එම ස්ථානයට ගියද, අදාළ කටයුත්ත සිදුකිරීමට නොහැකිවී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ, 2019.06.27 දිනැති ලිපියෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) විසින් කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු අමතමින්, කූරගල පුරාවිද්‍යා පරිශ්‍රය හා චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීම තාවකාලිකව අවලංගු කරන බවට දන්වා තිබීමයි. මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසූ විට අදාළ නිලධාරියා විසින් ඒ පිළිබදව වැඩිදුර කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේ, කාලාන්තරයක් තිස්සේ දැඩි අවශ්‍යතාවක්ව පැවති මෙම විදුලිය පහසුකම ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලූ අවස්ථාවේ තමා ඒ සදහා ක්ෂණිකවම යහපත් ප්‍රතිචාර දැක්වූ බවත්, ඒ අනුව අද පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ ස්ථානයට විදුලිය ලබාදීමට ක්‍රියාත්මකවූ නමුත්,  නොදන්නා බලවේගයක් තුළින් අදාළ කටයුතු නැවැත්වීමට ක්‍රියාකර ඇති බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ස්ථානයට විදුලිය ලබාදීම සදහා හැකි ඉක්මණින් අවසර ලබාදෙන ලෙසයි. පුරාවස්තු දෙපාර්තමේන්තුවෙන් මේ සදහා අවසර ලබාදී තිබූ නමුත් අද පෙරවරුවේ මෙම වැඩකටයුතු නවත්වන ලෙස එම දෙපාර්තමේන්තුවෙන්ම  තම අමාත්‍යාංශය වෙත ලිඛිතව  දැනුම්දී ඇතැයි පැවසූ කරුණානායක මහතා,  විදුලිය ලබාදීම නවතා දමා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බැවින් මෙහි පූර්ණ වගකීම ඔවුන් සතු බවත් පැවසූ  අතර මෙය කිසිසේත්ම දේශපාලන කටයුත්තක් නොවන බවත් අවධාරණය කළේය.

කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට සහ චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීමට දී තිබූ අවසරය අත්හිටුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට පැමිණි කොටුවේ පොඩි හාමුදුරුවන් සහ ඉරාජ් වීරරත්න මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

Page 1 of 2