April 18, 2024

දියණියට පින්පිණිස ළමා නිවාසයක් ඉදිකළ එතෙර කත

December 29, 2014
සුනාමියට හසුව අකාලයේ මියගිය තම දියණිය සිහිකිරීමට බි‍්‍රතාන්‍යය ජාතික කිම් හා ටි‍්‍රස්ටන් පෙට්ෆීල්ඞ් දෙපළ ඇතිකළ තංගල්ලේ චන්ද්‍රපුර ළමා නිවාසය අද දිනයේ ළමුන් රැසකට සෙවණ දෙන්නකි.
කිම් හා ටි‍්‍රස්ටන් ශී‍්‍රලංකාවට ආගන්තුකයින් නොවේ.නිවාඩුවක් ලද විගස ඔවුන් පැමිණෙන්නේ මෙහිය.එම දෛවෝපගත දිනයේ ඔවුන් සිටියේ තංගල්ලේ සංචාරක බංගලාවක් කුලියට ගෙන එහි නැවතීය.
එදින උදැෑසනින්ම නැගිටි තමා බංගලාවේ දොර විවර කළ බැලූ විට දුටුයේ අඩි ගණනක් උස විශාල මුහුදු රළක් ගොඩබිමට ඇදී එන අයරු බව ඒ අඳුරු දිනයේ මතකයන් සිහියට නගනා කිම් කියයි.තම සැමියා ටි‍්‍රස්ටන් වහාම බංගලාවේ ඉදිරි දොර වසා ජලය ඇතුල්වීම වළක්වන්නට තැත් කළත් එයින් ඵලක් නොවූනු බවද ඇය පවසයි.
ක‍්‍රමයෙන් ජලය පිරෙන්නට පටන් ගත් බංගලාවෙන් පිටතට යාගත නොහැකිව ලතවෙමින් සිටි ඔවුන් අවසානයේ උත්සාහ දරා තිබෙන්නේ පසුපස දොර හැරගෙන පිටතට යෑමටය.දොර විවර කරගත් විගස වැදුණු තවත් ජල පහරකින් තම ඇගේ එල්ලී සිටි දියණිය ඉසබෙලා ගසාගෙන ගිය බව කිම් කියන්නේ කදුළු අතරින්ය.
 
‘මොකද වුනේ කියලා හිතාගන්න බැරිවුනා.මගේ ඇගේ එල්ලිලා හිටිය ඇය එක පාරටම අතුරුදහන් වුනා.නිවස අදුරු පැහැ ජලයෙන් පිරිලා.ඇය කොහේද කියා මා පිස්සියෙක් වගේ හෙව්වා.නමුත් ඇය හමුවුනේ නැහැ‘ ඇය පවසයි.
කිම් ඊළග අවස්ථාවේ ඇස්ඇර බලන විට ඇය සිටි ඇත්තේ රෝහලකය.ඇයගේ පාදයක් දරුණු ලෙස තුවාළ වී තිබුණි.සැමියා ඇය අසළ නොවීය.ඔහුද මියගොස් ඇතැයි ඇය සිතුවත් ඇත්තෙන්ම ඔහු සිටියේ ඉසබෙලා සොයා ප‍්‍රදේශය පිීරමින්ය.
 
දින දෙකක් ගතවීත් තම දියණිය සොයාගත නුහුණු තැන කිම්ගේ සැමියා ටි‍්‍රස්ටන් ඊළගට ගොස් ඇත්තේ රෝහල් වල මෘත ශරීරාගාර පරීක්ෂා කිරීමටය.එක් රෝහලක තිබූ කුඩා මිනී පෙට්ටියක් පරීක්ෂා කිරීමේදී මුළු ලොවම කඩාවැටුණා වැනි හැගීමක් දැනුනු බව ඔහු කියයි.
‘එකෙ හිටියේ මගේ ඉසබෙලා.රෝහලේ නිළධාරීන් මගෙන් එක සැරයක් නොවේ තුන්සැරයක්ම ඇහුවා මේ ඉන්නේ ඔයාගේ දුවද කියලා.මම ඔව් ඔව් කියලා හීනෙන් වගේ උත්තර දුන්නා මතකයි‘ ටි‍්‍රස්ටන් සිහිකැඳවයි.
කිම් සුවය ලැබූ වහා දෙදෙන බි‍්‍රතාන්‍යය බලා පිටත් විය.නමුත් ඔවුන්ගේ හිත තිබුණේ ශී‍්‍ර ලංකාවේය.
අවසාන ප‍්‍රතිඵලය වූයේ ඉසබෙලා නමින් ළමා නිවාසයක් පිහිටුවන්නට ඔවුන් ඉටා ගැනීමය.තම මිතුරන් හා ඥාතීන්ගේ පිහිටෙන් අරමුදලක් පිහිටුවාගත් කිම් හා ටි‍්‍රස්ටන් සැළකිය යුතු මුදලක් එකතු කර ගත්තාය. නැවත ශී‍්‍ර ලංකාවට පැමිණි ඔවුහු දියණිය අහිමිවූ තංගල්ල ප‍්‍රදේශයේම චන්ද්‍රපුර ළමා නිවාසය පිහිටැවූහ.
‘මට අහිමිවුනේ මගේ දුව විතරයි.ඒත් මෙතන ඉන්න සමහර දරුවන්ට ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අහිමිවෙලා.මගේ දුක මට අහිමිවීමේ දුක මම තුනී කරගන්නේ මේ දරුවන්ට පිහිටවෙලා‘ කිම් කියයි.
චන්ද්‍රපුරට මෙදා නත්තල් තෑගිද බරටම ලැබුණි.ඒ සියල්ලට දායකත්වය සපයා තිබුණේ බි‍්‍රතාන්‍යයේ වෙසෙනා කිම් හා ටි‍්‍රස්ටන්ගේ හිතමිතුරන්ය.ඉදිරි කාලයේදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු පහසු කිරීමට පරිගණක කිහිපයක්ද ලබාදීමට සැළසුම් කර තිබෙන බව සඳහන්ය.
ළමා නිවාසයේ සිටින දරුවන් කුඩා ඉසබෙලාව කිසිදිනෙක දැෑසින්වත් දැක නොතිබුණත් ඇයව තම ළගම මිතුරියක් ලෙස සළකන්නෝය.‘.ඉසබෙලා කියන්නේ මගේ මිතුරිය.ඇය නිසා තමයි මට මෙහෙ එන්න ලැබුණේ‘.ඔවුහු කියන්නෝය.
මෙම ළමයින් බලාකියා ගැනීමට භාරකාරිනියක්ද පත්කර ඇත. සුනාමියෙන් අවතැන්වූ දරුවන් සේම වීදියේ අතරමංව සිටි ආදී සමාජයේ නොයෙකුත් පීඩා වලට ලක්වුනු දරුවන්ද මෙතැන සිටින බව ඇය කියයි.
 
‘සුනාමියට හසුවෙලා දෙමව්පියන් නැතිවුනු දරුවන් කාලයක් යනකන්ම මුහුදට බයේ හිටියේ.නමුත් දැන් ඔවුන් සුවපත් වෙලා.සෙල්ලම් කරනවා පාඩම් කරනවා සාමාන්‍ය ළමයි වගේම.ඉසබෙලාටත් ඇයගේ දෙමව්පියන්ටත් තමයි එහි ගෞරවය ලැබෙන්නේ‘
ඇය පවසයි.
ඉසබෙලා නමින් පිහිටුවා තිබෙන අරමුදලට ඔනෑම අයෙකුට දායක විය හැකිය.මේ දරුවන්ට තව තවත් සම්පත් හා සේවා සපයා දීමට ඉන් ලැබෙන මුදල් යොදාගන්නා බව කිම් හා ටි‍්‍රස්ටන් දෙපළ කියයි.
Rate this item
(0 votes)