April 19, 2024

අනාගතයේ ගමන් බිමන් වීදුරු නළයක

December 22, 2014
විද්‍යා ප්‍රබන්ධ සිහිගන්වන තාලයේ විසල් වීදුරු නළයක එක් කෙළවරකින් ඇතුළුව රටේ එහා කොණේ පිහිටා ඇති අනෙක් කෙළවරෙන් පිටතට පැමිණිය හැකි අපූරු ප්‍රවාහන ක්‍රමයක පර්යේෂණ කටයුතු වල මේ දිනවල ඇමරිකා ව්‍යවසායකයෙකු ඇතුළු විද්‍යාඥයෝ හා ඉංජිනේරුවරු පිරිසක් නියැළී සිටිති.
 
හයිපර්ලුප් ලෙස නම්කර ඇති මෙහි නගර දෙකක් හෝ ප්‍රදේශ දෙකක් යාකර ඉදිකර ඇති වීදුරු නළයකට බහාලන කැප්සියුලයන් එක් කොණක සිට අනෙක් කොණට තල්ලූ කර හැරීම සිදුවේ.මේ කැප්සියුලයන් වල සිටිනු ඇත්තේ මගීන් බව අමුතුවෙන් කිවයුතු නැත.
මේ තල්ලූ කර හැරීම සිදුවෙන්නේ කැප්සියුලයේ හා වීදුරු නළයේ සවිකර ඇති චුම්භක ආධාරයෙන්ය.කැප්සියුලය වීදුරු නළයේ ගමන් කරද්දී උපදින වායු ප්‍රතිරෝධය වැළැක්වීමට නළය චූෂකයන් ආධාරයෙන් යම් තාක් දුරකට වායුරෝධනය කෙරෙන බව සඳහන්ය.
 
මෙසේ යම්තාක් දුරකට වායු රෝධනය කිරීම ගැන පැහැදිලි කිරීමක් කරන පර්යේෂකයෝ පවසන්නේ වීදුරු නළයේ ඇති කැප්සියුලය නළයේ බිත්ති වල නොගැටී පාවෙන අයුරින් පවත්වා ගැනීමට නළයේ ඇති වාතයෙන් කොටසක් මෙට්ටයක් සේ භාවිතා වන බවයි.
 
පැයට සැතපුම් 760 ක පමණ වේගයක් අත්කරගත හැකිවනු ඇති බව පැවසෙන මෙයින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිට අනෙක් කොනේ පිහිටි සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර දක්වා ගමන් කිරීමට ගතවනු ඇත්තේ පැය භාගයක් වැනි කාලයක් බව පැවසේ.
මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 4 ක් පමණ වැයවේයැයි ගණන් බලා ඇත.එයින් කොටසක් අරමුදලක් පිහිටුවා එකතු කර ගැනීම නිර්මාපකයින්ගේ අපේක්ෂාවයි.
 
 
Rate this item
(0 votes)