April 20, 2024

කල්දේරමක මිනිසුන් තැම්බූ රජ්ජුරුවෝ

December 05, 2014
ඔහු ඉපදුණේ ජෙංගීෂ් ඛාන් ලෙස නොවේ. “ටෙමුචින්” ලෙස ය. ඔහුගේ පියා ගෝත්‍රික නායක යිසුගෙයි ටෙමුචින් පරදවා තම ජයග්‍රහණය තහවුරු කරගත්තේ අලුත් පුතු උපන් දිනයේ ය. තමා අතින් මැරුම් කෑ සතුරා සිහිවීම පිණිස සතුරාගේ නම තම පුතකුට තැබීම අද අපට අමුතු දෙයක් ලෙස පෙනුණ ද එදා, දොළොස් වැනි ශත වර්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදායක් විය.
 
පුත්‍රයා හැදුණේ ද, වැඩුණේ ද ඔහුගේ පියා මෙන් ම ය. දුනු මෙන් නැමුණු කකුල් සහිත මේ කුඩා අසරුවා තැම්බූ සත්ව හමකින් තැනූ කබායක් නිතර හැඳ සිටියේ ය. ඇදහිය නොහැකි තරම් හිම මිදෙන සීතලේ ද, ගත දවන උණුසුමේ ද නැහැවෙමින් අභියෝගාත්මක ලෙස ප්‍රතිමල්ලවයන් සටනට කැඳවීය. ඔහු අනෙක් මොංගෝලියානුවන් මෙන් නොවී ය. අශ්වයා ඔහුට තම වාහනය පමණක් නොව පරම සතුට ද, දවසින් වැඩි කොටස ගත කළ ඔහුගේ නිවෙස ද විය.
 
පියා මියයන විට ටෙමුචින් යන්තමින් දහතුන් හැවිරිදි වූවා පමණි. මේ කාලය වන විට මොංගෝලියානුවන් ආසියාවේ සෑම ප්‍රදේශයටම පාහේ ගමන් කර සිටියෝය. තරුණ වියට පය තබමින් සිටි ටෙමුචින් මේ ආක්‍රමණශීලි ප්‍රතිපත්තිය ඉහටත් උඩින් පිළිගත් කලහකාරයකු විය. 1206 වර්ෂයේ ඔහු අයත් මොංගෝලියානු ගෝත්‍රය, ආසියාවේ සිටි අනෙකුත් සියලු ගෝත්‍රික කණ්ඩායම් අතරින් විජයග්‍රාහී ගෝත්‍රය බවට පත්වූයේ ඔහු “ජෙංගීෂ් ඛාන්” ලෙසට අභිෂේක කරවමිනි.
 
“ජෙංගීෂ් ඛාන්” යන්නෙහි වචනාර්ථය “රජුන්ගෙත් රජු” යන්නයි. එය සකල ලෝකය ම කෲරත්වයෙන් ඇලළී ගොස් තිබූ යුගයකි. එහෙත් ජෙංගීෂ් ඛාන් ඒ සියල්ලන් ද අතරින් කෲරතමයා වූවා විය යුතු ය. එකල රණශූරයන් තම මනාලියන් සොයාගත යුතු වූයේ සටන් බිමේදී ඇගේ සියලු පිරිමි ඥාතීන් මරා දැමීම මගිනි. මේ සිරිතට තිබුණේ ඉතා ඉහළ පිළිගැනීමකි. තම පුරුෂ ඥාතීන් රණශූරයාගේ කගපතින් දෙපළු වී ගිය පසු ඇය අලුත් හිමිකරුගේ අසුපිට නැඟී ඔහු සමඟ යා යුතු ය. ඔහුගේ යූර්ට් හෙවත් මාලිගයට ආපසු ආහාර පිසින්නටත් ඔහු රැකබලා ගන්නටත් කටයුතු කළ යුත්තේ මෙලොව ඈට වෙනත් කිසිම රැකවලකු නොවන නිසා ය.
 
ජෙංගිෂ් ඛාන් තම ප්‍රියම්බිකාව වූ යිසුගෙන් සොයා ගත්තේ ඒ ආකාරයට ය. ඈ අතීතයේ වෙනත් පුරුෂයකුගේ දේපළක් බවට පත් ව නොසිටියෙන් කන්‍යාවක වූවා ය. ජෙංගිෂ් ඇගේ සියලු පිරිමි ඥාතීන්ගේ හිස ගසා මරා දමා තිබුණේ එයට දිනකට දෙකකට එපිටදී ය. තමාට මෙලොව තමා වැනිම සුරූපී වැඩිමහල් සොහොයුරියක හැර වෙනත් ඥාතියකු නැති බව ඈ ජෙංගිෂ් ඛාන් අධිරාජ්‍යයාට නොවළහා පැවසුවාය. එකල නොවැළැක්විය හැකි හා ඉතා තදබල ලෙස සමාජ සම්මතය එක් රජකුට එක් බිසවකි. ඔහුටද මීට පෙර අවශ්‍ය කර තිබුණේ එක් බිරියක පමණි. එහෙත්, යිසුගෙන් ගේ අතිශය රූමත් වැඩිමහල් සොහොයුරිය වූ යිසුයි ද සරණපාවා ගැනීමට මෙවර ඔහුට අවශ්‍ය ව තිබිණි.
 
තමාගේ අලුත් බලකාමී ස්වාමි පුරුෂයාගෙන් තම සොහොයුරිය ද සරණ පාවා ගන්නැයි යිසුගෙන් ඉල්ලා සිටියා ය. එය සිදුවිය නොහැකි දෙයකැයි සිතීමට නුපුළුවන. ඈ ඔහුගේ බිරිය වීම පිළිබඳ තෘප්තිමත් සිතින් පසු වූවා ය. විශේෂයෙන් ම මහා ආඥාදායකයා සමඟ යුට් හි ගත කළ පළමු දින කිහිපය තුළ ඈ ඒ බව මනාව වටහාගෙන සිටියාය. එසේ ම තමා සමඟ ඔහු බෙදා ගන්නා සොහොයුරිය ද යිසුයි ද පිළිබඳ ඈ ඊර්ෂ්‍යාවක් සිතුණේ ද නැත. තැනිතලාවේ මහා සාදය පැවැත්වෙන විට ද ඇය සතුටු සිතින් යුතුව සිය සොයුරිය සමඟ ගැවසුණේ ඒ නිසා ය.
ජෙංගීෂ් ඛාන්ගේ සාදවලට පැමිණි කිසිවකු හට කලින් පිටව යාමට අවසර තිබුණේ නැත. සාමාන්‍යයෙන් එවැනි සාදයක් මැදියම් රැය වනතෙක්ම පැවැත්වෙයි. කෙමෙන් සඳ ද බැසගොස් කුසීත අලුයම පැමිණියේය. එය ශ්‍රේෂ්ඨ ඛාන් ගේ වියරූ විනෝදයට කාල වේලාව විය. ඔහු මහ හඬින් දුන් විධානයට අවනතව ඔහුගේ සේවකයන් විසින් තතාර්වරු හෙවත් ෂිරා ගෝත්‍රිකයන් සය දෙනකු පමණ කුදලාගෙන එනු ලැබීය. එය යිසුයිගේ, යිසුගෙන්ගේ හා අක්ටාරි ගේ ගෝත්‍රයයි. තත්පර කිහිපයක් ඇතුළත මිනිසුන් සය දෙනාගේ අතපය සම්පටිවලින් බැඳ දමන ලදී. තැනිතලාවේ දැවැන්ත ගිනිමැලයක් දැල්වෙමින් තිබිණි. පසෙක වූයේ විශාල තඹ කල්දේරම් සයකි.
 
ශ්‍රේෂ්ඨ ඛාන් තම අත වැසියන්ට විධානයක් දුන්නේ ය. එවිට තතාර් ජාතිකයන් සයදෙනා ගිනිමැලය අසල ගාල් කරන ලදී. ඉක්බිති සිරකරුවන් හා මුරකරුවන් හැර ඉතිරි සියල්ලෝ ම තැනිතලාවේ හරි බරි ගැසී අසුන් ගත්හ. වකගැසුණු පාද ඇති මහා ඛාන් තම තද දඹුරු හස්තය ඔසවා රාජකීය හස්ත මුද්‍රාවක් කළේ ය..”අපේ විනෝද ක්‍රීඩාව ආරම්භ කිරීමට කාලයයි.”
 
මේ වන විට සිරකරුවන් කල්දේරම් තුනකට බහා තිබුණෙන් පිටතට දිස්වූයේ ඔවුන්ගේ හිස් හා උරහිස් පමණකි. අසරණයන් තිදෙනාගේ බියපත් මුහුණු ඇදවී තිබූ විකට විලාසය මේ රාජකීය නාඩගමේ පේ‍්‍රක්ෂකයන් වෙත ගෙන ආවේ මහා විනෝදයකි. ප්‍රහසනයකි.දුසිමක් පමණ සේවකයන් ජල බඳුන ද ගෙන කල්දේරම් කරා ආහ. ඉක්බිති කල්දේරම්වල ගෙල දක්වා ජලය පුරවන්නට වූහ. ඉක්බිති ගිනිමැල මතින් කල්දේරම් තබන ලදී. එය මනා ලෙස සැලසුම් කර තිබූ සංවිධානාත්මක විනෝද ක්‍රීඩාවක් විය. පළමු තතාර් ජාතික ගෝත්‍රිකයන් තිදෙනා පණපිටින් තැම්බෙන අයුරු දැක ඉතිරි තිදෙනා මර බියෙන් දැඟලූහ. මේ සය දෙනාගේ ප්‍රතික්‍රියා, ඉතිරි පේ‍්‍රක්ෂකයන් සිය ගණන සඳහා සාදයේ අනුපාතය වූ වියරු විනෝදය සැපයීය.
 
මිනිත්තු කිහිපයක් ඇතුළත මිනිස්සු තිදෙනා මහත් මර බියකට මුහුණ පා සිටියහ. එක් අයකු ඉතා උච්ච ස්වරයෙන් ගිරිය පුප්පාගෙන වන සතකු මෙන් මරහඬ තැළීමට පටන් ගත්තේය. දෙවැන්නා එයට එක් වූයේ අන්ත අසරණ මෘදු පහත් කෙඳිරියකිනි. එය සවන් වැකී ජෙංගීෂ් කොක් හඬලමින් සිනාසීමට පටන් ගත්තේය. ඔහුගේ අමුත්තෝද ඉතා කැමැත්තෙන් ඊළඟ නිමේෂයේ එයට එක් වූහ. තෙවැන්නා විලාපයට එක්වූයේ ජීවිත දානය ඉල්ලා ලතෝනි දෙමිනි. තව ද මද වේලාවක් යන විට කල්දේරම් පහෙන් නැඟෙමින් තිබුණේ ඉතා අමිහිරි ඝෝෂාවකි. ඔවුන් නඟමින් සිටියේ අවසාන මරලතෝනියයි.
 
සිරකරුවන්ගේ කෑගැසුම අතිශය අමිහිරි උච්ච ස්වරවලට එළඹ ඉක්බිති නැවතුණේය. කල්දේරම් තුනෙහි ගැබ්කර තිබූ මිනිස් මාංශය තැම්බුණු ලෝදිය පමණක් ගොජ ගොජ ගාමින් නටමින් තිබිණි. ඒවායින් දුම් වලාකුළු වැනි හුමාලයක් නැඟුණේය. දෙදෙනකුගේ මළකඳන් ලෝදිය හැලි තුළ පතුලටම කිඳා බැස තිබූ අතර, තෙවැන්නා කුමන හෝ ක්‍රමයකින් ලෝදිය හැලිය මත ඉපිලෙමින් සිටියේ ය. ඇරුණු මුව තුළින් පිටතට ඔහුගේ දිව ඇදීවිත් තිබුණේය. එකකු මෙය සගයන්ට පෙන්වූයෙන් නැවතත් තැනිතලාව පුරා මහ සිනාවක් පැතිරිණි. බකල් ගසන රජුන්ගේ රජු-ජෙංගීෂ් ඛාන් ඒ දැක අන් සියලුම දෙනාට වඩා කොක්සන් දෙමින් සිනාසුණේය.
 
Rate this item
(0 votes)