March 28, 2024

අහිංසක සතුන් ලක්ෂ ගණනින් බිලිගන්නා දෙවොල් උත්සවය

December 02, 2014
පස් වසරකට වරක්  නේපාලයේ බැරියර්පූර්හි ගදිමෙයි දෙවොලේ පැවැත්වෙන මෙම උත්සවයේදී ගවයින්,කුකුළන්,එළුවන්,ඌරන් වැනි සතුන් දහස් ගණනින් ඝාතනය කෙරේ.උත්සවය අවසාන වතාවට පැවැත්වුනු 2009 වසරේදී එසේ ඝාතනය කෙරුණු සතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 2  ඉක්මවීය.
මෙවරද එලෙසම සතුන් ඝාතනය වන අයුරක් පෙනෙන්නට තිබෙන අතර මි ගවයින් 5000 දෙනාගේ ඝාතනය තවත් දින කිහිපයක් පුරා සිදුවන මහා සත්ත්ව සංහාරයක ආරම්භය බව තතු දන්නෝ කියති.
 
මෙයාකාරයට පිදෙන බිලි වලින් සතුටට පත්වන ගදිමෙයි දෙවඟන තම ගැටලූ වලට පිළිතුරු ලබාදේයැයිද, දුෂ්කර අවස්ථා වලට මුහුණදීමට තමන්ට බලය ලබාදේයැයිද බැතිමත්හු විශ්වාස කරති.
මී ගවයින්ගේ ගෙල සිදින්නේ විශේෂ වක් පිහියක් ආධාරයෙනි.හිස සිදී ගිය කවන්ධයෙන් වැගිරෙන ලේ ධාරා පානය කිරීමට පවා ඇතැම් බැතිමත්හු පෙළඹෙති.
සත්තව සංහාරය සිදුවන දිනයන්හීදී මුළු පෙදෙසම සතුන්ගේ වේදනාත්මක හඩින් පිරේ.ඔවුන්ගෙන් සිරුරෙන් ගලා යන රුධිරයෙන් පෙදෙසම රත්පැහැ ගැන්වේ.
ඝාතකයින්ව තෝරාගන්නේ දෙවොලේ පූජක තෙමේය.ඔහු තම අත කපා රුධිරය ගෙන එය සංහාරය කරන ලද සතුන්ගේ රුධිරය හා මුසුකොට සෞභාග්‍යය පතා දෙවියන්ට කන්නලව් කරයි.
මේ ම්ලේච්ඡ සංහාරය පිටුදැකීමට සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටන සංවිධාන රැසක්ම පෙළ ගැසී සිටී.ඔවුන් පවසන්නේ ගතවුනු වසර කිහිපයේදී සංහාරය කෙරෙන සතුන්ගේ සංඛ්‍යාව ක‍්‍රමයෙන් අඩු කිරීමට තමන්ට හැකිවූ බවයි.
 
එසේ කිරීමට මේ උත්සවයට යැයි කියා අසල්වැසි රටවල සිට නේපාලයට කෙරෙන සතුන් ප‍්‍රවාහනයන් එම රටවල රජයන්ගේද ආධාර ඇතිව නැවැත්වීමට,උත්සවය සැමරීමේදී යම් සීමා පැනවීමට නේපාල රජයට බලපෑම් එල්ල කිරීමට, තමන් කටයුතු කළ බව එම සංවිධාන කියයි.
කෙතරම් උත්සාහ ගත්තද තවමත් සත්ත්ව සංහාරය ජයටම සිදුවේ.
 
එසේවුවත් අන්තර්ජාතික තලයේ මෙන්ම නේපාලයේ කි‍්‍රයාත්මක බොහෝමයක් සත්ත්ව හිමිකම් හා පරිසර පරිසර සංවිධාන කෙසේහෝ මෙම මහා සංහාරය නැවැත්වීමේ අදිටනින් කටයුතු කරමින් සිටී.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 December 2014 16:49