April 19, 2024

facebook ගිණුමක් හිමී “බ්ලොසම්” එළදෙන

November 27, 2014
 ඇමෙරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ ඔරේන්ජ්විල් ප්‍රදේශයේ ගොවිපළක වෙසෙන “බ්ලොසම්” පසුගියදා ලොව උසම එළදෙන ලෙස ගිනස් වාර්තා ‍පොතට ඇතුළු විය. හොල්ස්ටික් ෆී්‍රසියන් වර්ගයට අයත් වයස අවුරුදු දහතුනක් වන  බ්ලොසම්ගේ උස අඩි හයයි අඟල් හතරක් බව ඇගේ හිමිකාරිය වන පැටී හැන්සන් පවසන්නේ ආඩම්බරයෙනි. බ්ලොසම් සුවිශේෂී අයෙකු බව ඇය උපන්දා සිට දැන සිටි බව කියන පැටී බ්ලොසම් පැටවුන් නොලැබිමේ දුබලතාවයකින් පෙළෙන බව  දැනගත් පසුවද දිගටම ඇයව සුරතලෙකු ලෙස ගොවිපළේ තමාගේ රැකවරණය යටතේ තබා ගැනීමට තරම් කාරුණික වුණේ ද ඒ නිසාය. අද වන විට හැන්සන්ගේ ගොවිපළ  වෙත එන සියල්ලන්ගේ ආදරය හා අවධානය  දිනා ගන්නා චරිතය බවට පත්ව  සිටින්නේ යෝධ සිරුරක් හිමි බ්ලොසම්ය. ඇය කෙතරම් ජනප්‍රියද යත් ඇයටම වෙන්වූ facebook  ගිණුමක්ද  තිබේ.
 
පසුගිය ජූලි මාසයේදී සිය දහතුන් වන උපන් දිනය සැමරූ බ්ලොසම්ට ලොව උසම එළදෙන  ලෙස ගිනස් ‍පොතට ඇතුළුවීමට වරම් ලැබෙන්නේ හැන්සන්ගේ ගොවිපළේ එළදෙනුන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරුන් හා ගවකුර සවිකරන්නන්ගේ පෙළඹවීම නිසායි. රාත්තල් දෙදහසක බරකින් යුතු බ්ලොසම්ගේ දැවැන්ත භාවය නිතරම හැන්සන්ගේ අවධානයට ලක්කරමින් පසුව ඇගේ වීඩියෝ පට හා ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට  හැන්සන් ඇතුළු ඇගේ පවු‍ලේ සාමාජිකයන්ව පෙළඹවූයේද  බ්ලොසම්ව පරීක්ෂාවට ලක් කළ පශු  වෛද්‍යවරුන්ය. ගිනස් වාර්තා ‍පොතට ඇතුළු වීමට බ්ලොසම්ගේ උස හා බර පිළිබඳ  නිල මට්ටමේ මිනුම් ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මාසයේදී  ඇය ලොව උසම එළදෙන ලෙස කිරුළු පැළඳුවාය.  ඉදිරියේදී බ්ලොසම්ගේ කතාව ඇතුළත් කොට
ළමා කතන්දර ‍පොතක් එළිදැක්වීමටද හැන්සන් බලා‍පොරොත්තු වන්නීය.
 
දැනට ලොව මිටිම එළදෙන ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ  ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙසෙන ස්ටීවන් ඩෙමුවර් හා ක්‍රිස්ටියන් ඇග්නිව් සතු බ්ලෙස් නමැති එළදෙනයි. ඇගේ උස අඩි දෙකයි අඟල් දහ නවයකි.
 
Rate this item
(0 votes)