March 29, 2024

අපේ කාලේ සින්ඩරෙල්ලා

November 19, 2014

කේට් කුමරිය

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය නොහොත් කේට් කුමරිය කේට් මිඩ්ල්ටන් ලෙස සාමාන්‍ය පවුලක උපත ලැබූ අතර ඇගේ සිහින කුමරු ඇයට මුල්වරට මුණගැසෙන්නේ 2001 වසරේදී ස්කොට්ලන්තයේ ශා. ඇන්ඩෲ විශ්ව විද්‍යාලයේදීය. අධ්‍යාපනය ලැබිමෙන් පසු ඇය ජිග්සෝ නමැති නිමි ඇඟලුම් ආයතනයක සේවය කළාය. විවිධ හැලහැප්පීම් මැද දස වසරක කාලයක් පෙම්වතුන් ලෙස ඇසුරු කළ ඔවුන් 2011 අප්‍රේල් 29 දා විවාහ වූහ.
 
ස්පාඤ්ඤයේ ලෙටිසියා රැජිණ
සිය සිහින කුමාරයා හමුවීමට පෙර සී.එන්.එන්. ආයතනයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ ඇයට ඔහුව හමුවන්නේද එම රැකියාවේම ප්‍රතිඵලයක් ලෙසයි. 2002 වසරේදී ගැලිෂියා වෙරළ තීරය දූෂණය කරමින් ඒ හරහා පැතිරී ගිය තෙල් තට්ටුවක් පිළිබඳ වාර්තා කිරීමට ගොස් සිටි ලෙටිසියාට ස්පාඤ්ඤයේ ෆෙලිපේ කුමරු හමුවිය. දුටු සැණින් පෙමින් වෙළුණු බව කියැවෙන ෆෙලිපේ හා ලෙටිසියා යුවළ 2004 මැයි 22 දා විවාහ වූහ. පසුගියදා ෆෙලිපේ ස්පාඤ්ඤයේ රජු ලෙස කිරුළු පැළඳි අතර ලෙටිසියා දැන් එරට රැජිණයි.
 
රාන්යා රැජිණ
ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා කුමරුගේ බිරිය වීමට පෙර රාන්යා සේවය කළේ අම්මාන් නුවර පිහිටි ඇපල් සමාගමට අයත් ශාඛාවකය. ඇයට තම අනාගත සැමියා හමුවන්නේ කුමරුගේ සොහොයුරිය විසින් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදීය. රාන්යා 1993 ජුනි 10 දා අබ්දුල්ලා කුමරු හා විවාහ වූවාය. දැන් අබ්දුල්ලා එරට රජ බැවින් ඇය ජෝර්දානයේ රැජිණයි.
 
ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ තත්යානා බ්ලැට්නික් කුමරිය
ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ තත්යානා බ්ලැට්නික් මෝස්තර නිර්මාණ ශිල්පිනියක යටතේ උත්සව අවස්ථා සැලසුම් කරන්නියක ලෙස රැකියාව කළාය. ඇගේ ජීවිතය වෙනස් කරන ෙදෙවෝපගත හමුවීම සිදුවන්නේ 2003 වසරේදී ඇගේ මිතුරියන් විසින් කළ ආරාධනයකට අනුව හිම මත ලිස්සා යාමේ සංචාරයකට ගිය අවස්ථාවේදීය. 2010 අගෝස්තු 25 දා ඇය තම සිහින කුමරු වූ ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ නිකලස් කුමරු හා විවාහ වූවාය.
 
මොනැකෝවේ චාර්ලින් කුමරිය
චාර්ලින් කුමරියක වීමට පෙර සිටම ප්‍රකට චරිතයක්ව සිටියාය. දකුණු අප්‍රිකාවේ ඔලිම්පික් පිහිනුම් ශූරියක වන චාර්ලින් විට්ස්ටොක්ට ඇගේ සිහින කුමරු හමුවන්නේද පිහිනුම් තරගයකට සහභාගි වීමට මොනැකෝ වෙත ගොස් සිටියදීය. සිය හද බැඳි මොනැකෝහි දෙවන ඇල්බට් කුමරු සමග ඇය විවාහ වූයේ 2011 ජුලි 2දාය.
 
නොර්වේහි මෙට් මැරිට් ජෙසෙම් හොයිබි කුමරිය
පෙරළිකාර අතීතයකට හිමිකම් කී නෝර්වේ රාජ්‍යයේ මෙට් මැරිට් ජෙසම් හොයිබි රොක් සංගීත උත්සවයක් වන ‘ක්වාට්’ සැණකෙළියේදී
පළමුවරට නෝර්වේ ඔටුන්න හිමි හාකොන් කුමරු මුණගැසෙන විටදීද එක්දරු මවකි. ඔවුහු 2001 අගෝස්තු 25 දා විවාහ වූහ.
 
මොරොක්කෝවේ ලාලා සල්මා කුමරිය
මොරොක්කෝවේ ලාලා සල්මා වෘත්තියෙන් ඉංජිනේරුවරියක් වූවාය. ඇයට මොරොක්කෝවේ හය වැනි මොහොමඩ් රජු මුණගැසෙන්නේ 1999 වසරේදී පෞද්ගලික මට්ටමින් පැවැත්වුණු සාදයකදීය. එලෙස ඇරඹුණු ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස 2001 ඔක්තෝබර් 12 දා ඔවුන් විවාහ වූහ.
 
මේරි එළිසබෙත් කුමරිය
ඩෙන්මාර්කයේ ෆේ‍රඩ්රික් කුමරු හා මේරි එළිසබෙත්ගේ ආදර අන්දරයද සුරංගනා කතාවක් බඳු වූවකි. සිය සිහින කුමරු හමුවීමට පෙර වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක ගිණුම්කරණ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කළ මේරි එළිසබෙත් ඩොනල්ඩ්සන්ට ඩෙන්මාර්කයේ ෆේ‍රඩ්රික් කුමරු හමුවන්නේ 2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් උළෙල නැරඹීමට කුමරු ඕස්ට්‍රේලියාවට පැමිණි අවස්ථාවේදීය. ‘ෆේ‍රඩ්’ යන නමින් පමණක් හඳුනාගත් මෙම කඩවසම් තරුණයා හා පෙමින් වෙළුණු මේරි, තමා එලෙස පෙම් කරන්නේ රජ කුමරෙකුට බව සිහිනෙකින් හෝ නොසිතුවාය. ටික කලක් යනතුරු තමාගේ අනන්‍යතාව සිය පෙම්වතිය වෙතින් රහසක්ව තබා ගැනීමට කුමරු ප්‍රවේශම් විය. ඒ ඇය කලබල වී සම්බන්ධය නතර කර දමනු ඇතැයි යන බියෙනි. සිව් වසරක ප්‍රේම සම්බන්ධයකින් පසු 2004 මැයි 14 දා ඔවුහු විවාහ වූහ.
 
භූතානයේ ජෙට් සුන් පෙමා රැජිණ
භූතානයේ වත්මන් රජු වන ජිග්මි කේසාර් නාම්ග්යෙල් වැන්ග්චක්ට සිය අනාගත බිරිය මුල්වරට මුණගැසෙන්නේ පවු‍ලේ සාමාජිකයන් හා එක්ව ගිය සංචාරයකදීය. එවකට දාහත්වන වියේ පසුවූ ඔහු සත් හැවිරිදි දැරියක වූ ජෙට්සුන්ට ‍පොරොන්දුවක් වෙමින් කියා සිට ඇත්තේ ඔවුන් දෙදෙනා විවාහයට සුදුසු වයසට එළැඹෙන විටත් දෙදෙනාම තනිකඩව සිටියොත් තමා නියත වශයෙන්ම ඇයව විවාහ කරගන්නා බවයි. කියූ පරිදිම ඉන් වසර දහතුනකට පසු ඔහු සිය ‍පොරොන්දුව ඉටු කළේය. 2011 ඔක්තෝබර් 13 දා එවිට රජවී සිටි ජිග්මි බෞද්ධ සම්ප්‍රදායානුකූලව විසිහැවිරිදි ජෙට්සුන් හා විවාහ විය.
 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 November 2014 10:45