April 25, 2024

බලාගෙනයි බිත්ති වලටත් කන් තියෙනවා

November 18, 2014
සේෆ් හවුස් නමින් 2012 වසරේදී චිත්‍රපටයක් ප්‍රදර්ශනය විය. සුපිරි හොලිවුඩ් නළුවන් වන ඩෙන්සෙල් වොෂින්ටන් හා රයන් රෙනෝල්ඩ්ස් ප්‍රධාන චරිත රඟපාන මෙම චිත්‍රපටයට අනුව ඩෙන්සෙල් වොෂින්ටන් පසු කලක නීති විරෝධී කටයුතුවල යෙදෙන හිටපු සී.අයි.ඒ. නිලධාරියෙකි. බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන ඔහු රඳවා තබන ආරක්ෂක නිවස නැතහොත් “සේෆ් හවුස්” එක භාරව සිටින්නේ රයන් රෙනෝල්ඩ්ස්ය.
 
සේෆ් හවුස් යන්න එනමින්ම අපට වඩා පුරුදු නැතත් බටහිර රටවල් ඇතුළුව ලොව පුරා බොහෝ රටවලට පුරුදුය. නීතියෙන් තමාට කිසිවකුගෙන් හෝ කිසියම් පිරිසකගෙන් සිදුවන අනතුරුවලින් මෙන්ම යම් තර්ජනයකින් බේරෙන්නට කෙනෙකු හෝ යම් පිරිසක් සඟවා තැබෙන්නේ මේ ආරක්ෂක නිවාසවලය. විශේෂයෙන් තම සැමියාගේ පීඩාවන්ට ලක්වන බටහිර රටවල කාන්තාවන් ජීවිතය රැක ගැනීමට ඇතැම්විටක තම දරුවන්ද සමග සැඟව සිටින්නේ මෙවැනි නිවාසවලය.
 
සුප්‍රකට ආරක්ෂිත නිවාස ගැන තොරතුරු ඇතුළත් ලිපියක් පසුගිය දිනයක ඡායාරූපද සමග ද ටෙලිග්‍රාෆ් පුවත්පතේ පළවී තිබිණි. මෙවැනි ආරක්ෂිත නිවාස ඔත්තුකරුවන් විසින් බොහෝවිට භාවිතා කරන බව එහි කියැවිණි. ඒ අනුව ඇතැම්විට ඔබේ නිවසට යාබද නිවස හෝ ඉදිරිපස නිවස කුලියට ගෙන පැමිණෙන්නේ කිසිවකුගෙන් සැඟවී සිටින අයෙකු හෝ ඔත්තුකරුවෙකු විය හැක. ඇතැම්විටක නම හා පෙනුමද වෙනස්කරගෙන නිතර මුහුණ සිනහවකින් සරසාගෙන සිටින ප්‍රියමනාප අසල්වැසියා හෝ අසල්වැසි පවුල සතුව ඔවුන්ගේ ආරක්ෂාව හෝ ඔවුන් නිරතවන ක්‍රියාවන් සඳහා අවශ්‍ය වන අවි ආයුධ තිබෙන්නට හැක.
 
පසුගිය කාලයේ ලන්ඩනයේ අලෙවියට තිබුණු  නිවසක් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු නිලධාරීන් විසින් කලකට ඉහත සේෆ් හවුස් එකක් නොහොත් ආරක්ෂිත නිවසක් ලෙස භාවිතා කළ බව වෙන්දේසිකරුවන් විසින් සඟවා කටයුතුකොට තිබිණි. කෙසේ වුවද මෙවැනි තත්ත්වයකදී ඇමරිකානුවන් කටයුතු කරන්නේ වෙනස් ආකාරයකටය. පසුගිය කාලයේ වර්ජිනියා ප්‍රාන්තයේ අලෙවියට දමා තිබූ විලක් අසල වූ සුවිසල් නිවස සීතල යුද්ධය කාලයේදී රුසියානු ඔත්තුකරුවන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා භාවිතා කළ ආරක්ෂිත නිවසක් බව අලෙවි පත්‍රිකාවලම සඳහන් කොට තිබිණි. පනහ දශකයේදී තැනුණු නිදන කාමර තුනකින් යුතු ඇල්වික්ටස් නම් මේ නිවස මිලකොට තිබුණේ ඇමෙරිකානු ඩොලර් 749,000කටය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ වික්ටර් පර්ස් විසින් ගොඩනගන ලද මේ නිවස පසුව සී.අයි.ඒ. සංවිධානයට කුලියට දී තිබේ.
 
මේ අතර වඳින්න ගිය දේවාලය හිස මත කඩාවැටීමේ සිංහල ප්‍රස්ථා පිරුල සිහිගන්වන සිදුවීමක් වාර්තා වන්නේ ඇමෙරිකාවේ පයින්ඩේල් පළාතෙනි. එහි පවත්වාගෙන යන සෙක්ෂුවල් ඇටෑක් ෆැමලි වයලන්ස් ටාස්ක් ෆෝස් නමින් කාන්තාවන් වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානය 2012 වසරේදී තම රැකවරණය පතා ආ ක්‍රිස්ටි කෙම්ප් නම් කාන්තාවට හා ඇගේ කුඩා දියණියට සංවිධානයට අයත් ආරක්ෂිත නිවසේ රැකවරණය ලබාදුන්නේය. නමුත් දිනක් එයට ඇතුළු වූ පුද්ගලයෙකු කෙම්ප්ට හිස්කබල පුපුරන තුරු පහරදුන්නේ දියණිය බලා සිටියදීය. දිගු කලක් රෝහල්ගතව තමාගේ වියදමින් ප්‍රතිකාර ගන්නට කෙම්ප්ට සිදුවිය. දැන් ඇය තමාට නිසි ආරක්ෂාව ලබානොදුන් බව කියමින් ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් ඉල්ලා ඉහත සංවිධානයට වයෝමින් අධිකරණයේ නඩු පවරා තිබේ. මෙහිදී කෙම්ප්ගේ නීතිඥයින් කියන්නේ නිවසේ අනතුරු ඇඟවීමේ සීනු පද්ධතිය සාහසිකයා පැමිණෙන්නට දින දෙකකට පෙර සිටම ක්‍රියාවිරහිතව තිබූ බව හා නිවසේ එක් දොරක අගුල කැඩී තිබුණු බව ආරක්ෂිත නිවස අයත් ඉහත සංවිධානයේ අධ්‍යක්ෂවරයා දැන සිටි බවයි.
 
කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් විවිධ සංවිධාන පවත්වාගෙන යන ආරක්ෂිත නිවාස හැරුණුවිට ලොව පුරා සේෆ් හවුස් නිවාස පවත්වාගෙන යන්නේ සුප්‍රකට සී.අයි.ඒ. ආයතනයයි. මෙහිදී කලින් කලට පැරණි ආරක්ෂිත නිවාස වෙනුවට නව නිවාස ඒ වෙනුවෙන් තෝරාගැනීමද ඔවුහු සිදුකරති.
Rate this item
(0 votes)