March 29, 2024

සීයාට 'සීය' පනී

වසර 101 ක් ආයු වළදන්නට යම් අයෙකුට හැකියාව ලැබෙන්නේ නම් ඒ ඉතාමත්ම කලාතුරකින් සිදු වන්නකි.නමුත් මේ වන විට දරු මුණුපුර මිනිපිරියන් 44 දෙනෙකුගේ ආදරය හිමිවී ඇති අපූරු සීයා කෙනෙකු අපට හමු විය. මාරවිල - කටුනේරියේ පදිංචි ඔහු නමින් විජය රීෂ් මහතාය. වෙන්නප්පුවේ පැවති වැඩිහිටි උත්සවයකදී කාලගේත් අවධානය දිනා ගත් විජය සීයා තමන් වසර 100 කට වැඩි ආයු කාලයක් ගෙවා දැමූ ආකාරය ලද විරාමයකදී අප සමග කියා සිටියේය. 
 
"මගේ තාත්තා උංගු රාළ,අම්මාගේ නම පොරලැන්තිනා.පවුලේ ඔක්කොම 06 දෙනෙක් හිටියා.ඒ අය තමයි සහෝදරියෝම 02 යි, සහෝදරයෝ එක් කෙනයි,මමයි,අම්මායි තාත්තයි.දැන් ඒ කව්රුවත් ජීවතුන් අතර නැහැ.ඉන්නේ මම විතරයි. මට අමතකම නොවන සිද්ධිය තමයි මැණිකේව (බිරිදව) කැන්දාගෙන ආපු ආකාරය.මම එතකොට වැඩ කළේ මාරවිල ස්පිරිතාලේ සාත්තු සේවකයෙක් විධියට.1941 අවුරුද්දේ මේ ස්පිරිතාලේ වැඩට ආපු මේට්‍රන් නෝනා එක්ක සාත්තු සේවිකාවකුත් ආවා.මට ඉතිං එයා ගැන හිත ගියා.අපි දෙන්නම බොහෝම ආදරයෙන් හිටියා.ඊට පස්සේ 1943 අවුරුද්දේ එයා වටවල ස්පිරිතාලෙට මාරුවීමක් අරගෙන ගියා. "
 
මම මේ ගැන අපේ අයට වගේම එයාගේ ගෙදර අයටත් කිව්වා.ඒත් හරි යන්නේ නැති පාටයි.අවුරුදු 02 ක් විතර බලා ගෙන හිටියා. එතකොට මට වයස අවුරුදු 34 ක් විතර ඇති.මම ගිහිං එයාව එක්කරගෙන ආවා.අපි විවාහ වුණා. ඒ විවාහයෙන් අපිට දරුවෝ 06 දෙනෙක් ලැබුණා.දුවලා දෙන්නයි, පුතාලා හතර දෙනයි.එක දුවෙක් මේ වන විට ජීවතුන් අතර නැහැ. අනිත් අය නම් ඉන්නවා.මට ඔක්කොම දරු මුණුපුරන් 44 දෙනෙක් ඉන්නවා.මුණුපුරන්ටත් මුණුපුරෝ ඉන්නවා.ඒ අතින් මම මොන තරම් වාසනාවන්තද? "
 
ඔහු කියා ගෙන ගියේය.ඔහුගේ ඇතැම් අතීත කථාවන් ඔහුට මතක නැත.ඒ වයස නිසා වන්නට ඇත.නමුත් ශරීර ශක්තියෙන් තවත් කෙනෙකුගේ වාරුවකින් තොරව විජය රීෂ් සීයා තවමත් එහා මෙහා ඇවිදියි.නමුත් එක් මුණුපුරෙක් ඔහු අසලින්ම නිතර රැදී සිටින්නේ තම සීයාට ආරක්ෂාවක් ඇවැසි නිසා වන්නට ඇති. 
(ජූඩ් සමන්ත)
Rate this item
(0 votes)