April 23, 2024

එක ළමයකුට අකුරු කරන පාසැල

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාඋල දෙමදඔය ප්‍රාථමික විදුහල වැසී යාමට නොදී රැක ගැනීමට  දැඩි වෙහෙසක්  දරමින් ගුරුවරුන් මේ දිනවල දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.

මෙම විද්‍යාලයේ මේ වන විට එක සිසුවෙකු ඉගෙන ගන්නා අතර  එක ගුරුවරිය වෙනුවට තවත්  ගුරුවරුන්තුන් දෙනකු අනුයුක්ත කොට තිබේ. මෙපමණ කාලයක් එක් විදුහල්පතිවරිය සහ ඉංග්‍රීසි ගුරුවරියක් මෙම දරුවාට ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටින අතර 2020 වසරේ පළමු  වසර සඳහා ප්‍රදේශයේ සිසු සිසුවියන් පාසැලට ඇතුලත් කරගැනීමේ  ක්‍රියාදාමයක වර්තමාන විදුහල්පතිවරයා උත්සහා දරමින් සිටින බව වාර්තා වේ.

මෙම අපූරු පාසල සොයා අප 09 දින පෙරවරුවේ එම විද්‍යාලයට  යනවිට   ඉංග්‍රීසි ගුරුවරිය විද්‍යාලයටම සිටින එකම එක සිසුවාට අධ්‍යාපනය ලබාදෙමින් සිටියාය .

එක ළමයෙකු ගේ අධ්‍යාපනය  වෙනුවෙන්  අධ්‍යාපන අමාත්‍යංශය සිදුකළ එම   සේවය බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් විය යුතුව තිබේ.

කෙසේ වෙතත් අප මෙම විද්‍යාලයට යන විට නියෝජ්‍ය විදුහල්පතිවරිය කලාප කාර්යාලයේ රැස්වීමකට සහභාගී වී සිටි අතර දැනට අනුයුක්ත කොට සිටින විදුහල්පතිවරයා  විද්‍යාලයේ නව වසරට දරුවන් සොයා ගමේ නිවෙස් වලට ගොස් ඇති බව වාර්තා විය.

අධ්‍යාපනය ලබාදීම   පාසලට අවශ්‍ය සියලු පහසුකම් මේ වන විටත් සපයා ගැනීමෙන් සිටින බවද එම විදුහලේ ඉගැන්වීමේ කටයුතු කරමින් සිටි ගුරුවරිය පැවසුවාය.

ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක  නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ මීට පෙර පන්තියේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනාම ශිෂත්ව විභාගයෙන් ඉහල  ලකුණු මට්ටමක් ලබාදීමට හිටපු   වැඩබලන විදුහල්පතිවරියට  හැකිවූ බවය. එමෙන්ම මෙම විද්‍යාලය වසා දැමීම නොව ප්‍රදේශයේ දරු දැරියන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා අවශ්‍ය සම්පත් සපුරා දෙමින් සිටින බවද ඇය පැවසුවාය.

කෙසේ වෙතත් මෙම විදුහලේ අපූර්වත්වය වන්නේ සියලු සම්පත්  තිබියදී  එකම එක දරුවෙකු සහ ගුරුවරුන් හතරදෙනෙකු අධ්‍යාපනය ලබාදීම සඳහා අනුයුක්ත කොට තිබීමය .කෙසේ වෙතත්  ප්‍රදේශවාසීන් තම ළඟම පාසලට දරුවන් එවන්නේ නම් මෙම පාසල් වැසී නොගොස් ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණ පහන දල්වන අධ්‍යාපන කේන්ද්‍රයත් වනු ඇති බවය.

වීද්‍යාලයේ නව විදුහල්පතිවරයා සහ ගුරුවරුන් ද ඉදිරි වසරේ පාසැල  හොද  තත්ත්වයට පත්කර ගැනීම සඳහා දැඩි උත්සහයක නිරත වෙමින් සිටින බව ප්‍රදේශයේ ජනතාව ද අප සමඟ පැවසූහ.

 

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

 

Rate this item
(0 votes)