April 23, 2024

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළීබඳ සමීක්ෂණ පදනම් කරගනිමින් කෘතියක් එළිදකියි

December 18, 2019

මෙරට පවුල් සැලසුම් ,ලිංගික සහ ප්‍රජනන ‍ සෞඛ්‍ය හා සුභ සාධන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානය වන ශ්‍රීලංකා පවුල් සංවිධාන සංගමය විසින් " ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය හමුවේ ඇති අභියෝග හා උපදෙස් (2010 - 2019)" යනුවෙන් කෘතියක් ජනගත කරයි. මෙම කෘතිය එළිදැක්වීම 2019 දෙසැම්බර් 13 වනදා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

දකුණුු අසියානු කලාපයේ ජාත්‍යන්තර සැලසුම්සහගත දෙමව්පිය සම්මේලනයේ (The International Planned Parenthood Federation (IPPF))  සාමාජික සංවිධානයක් ලෙස දීර්ඝ කාලීනව කටයුතු කරන  ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ සංධිස්ථානයක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැක.  එම සංවිධානය විසින් 2010 - 2019 අතර කාලය තුළ දේශිය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද විවිධ ප්‍රකාශන හා වාර්තා සාරාංශ කොට ගනිමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මීට අමතරව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය, ජන විකාශනය, සමාජ විද්‍යාව යනාදී ක්ෂේත්‍ර වල විද්වතුන් විසින් විවිධ මාතෘකා යටතේ සම්පාදනය කළ ලිපි පෙළකින් ද මෙම කෘතිය සමන්විත වෙයි.  ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳව ජනතාව තුළ ඇති දැනුම වර්ධනය කිරීම සඳහා වන සාක්ෂි සහිත වාර්තා රැසක් මෙහි ඇතුළත් වන නිසා සමාජ ප්‍රගමනය කෙරෙහි ඉහළ දායකත්වයක් මෙමඟින් සපයයි.

සමස්තයක් වශයෙන් මෙම කෘතිය තුළින් පෙන්වා දෙනු ලබන්නේ  ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය  යනු හුදකලා එක් විෂයක් පමණක් නොව  ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය, ආගම සහ ලිංගිකත්වය සමඟ සමීපව බැඳී ඇති විෂයක් බවයි.

මෙම කෘතිය පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ විධායක අධ්‍යක්ෂිකා තුෂාරා රණසිංහ අගස් මහත්මිය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය  ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සහ අයිතීන් සම්බන්ධයෙන් වන තහවුරු කරගත් දත්ත අනුව  ක්‍රමෝපාය සකසන සංවිධානයක් බවයි. සිය නිරීක්ෂණ හා ඇගයුම් අංශය විසින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතීන් පිළිබදව රැස්කරගන්නා දත්ත අනුව වැඩසටහන් නිර්මාණය කරමින් ක්‍රියාත්මක කරන බව ද ඇය සඳහන් කළාය.  එලෙස රැස්කරගත් දත්ත සහ අධ්‍යයන වාර්තා එකතුව  කෘතියක් ලෙස එළිදැක්වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ද  ඇය කියා සිටියාය.

මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන දේශකයා ලෙස එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ලක්ෂමන් දිසානායක මහතා  වත්මන් ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වන සමීක්ෂණ වල වත්මන් තත්වය , අභියෝග  සහ උපදෙස් පිළිබදව  සිය අදහස් දැක්වීය.  ඒ පිළිබද වැඩිදුරත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ  දේශීය සන්දර්භය තුළ, අනාරක්ෂිත ගබ්සාව වැළැක්වීම, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන හා එච්.අයි.වී ආසාදිතයන් වැළැක්වීම යන ක්ෂේත්‍ර  පිළිබඳව දැනුවත් වීමට ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාව අඩු උනන්දුවක් පවතින බවයි. නමුත් මෙහි ඇති නීතිමය තත්වයන් සහ අවධානම යන හේතු නිසා ඒ පිළිබදව සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ඒ සඳහා ශ්‍රී ලංකා පවුල්  සංවිධාන සංගමය පිළබඳ පවතින උනන්දුව අගය කළ යුතු බවයි. ඒ අනුව මෙවැනි ප්‍රකාශනයක් තුළින් ජනතාවට විශේෂයෙන් වැදගත්  එම විෂය කරුණු පිළිබඳ ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු ලබා දෙනු ලබන බව මහාචාර්ය දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ගැබ් ගැනීම අවසන් කිරීමකදී මව ගේ ජීවිතයට පමණක් ප්‍රමුඛත්වය ලබාදීමට මෙරට නීති පද්ධතිය තුළ ඇති අවසරය උදාහරණ කොට දැක්වූ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළ ඒ මහතා පෙන්වා දුන්නේ  ගර්භනීභාවය වෛද්‍යමය වශයෙන් අවසන් කිරීම (MTP) ශ්‍රී ලංකාවේදී සිදු නොවීම නිසා බොහෝ කාන්තාවන්ට අනාරක්ෂිත ගබ්සා කිරීම් වලට යොමුවීමට සිදුව ඇති බවයි. මෙලෙස  සිදුකෙරෙන ගබ්සා කිරීම් නීති විරෝධී වීම නිසා බරපතල සමාජ ගැටළු හටගන්නා බව අවධාරණය කළ ඒ මහතා කියා සිටියේ එලෙස සිදුකෙරෙන අනාරක්ෂිත ගබ්සා කිරීම් වලදී ඖෂධ අනවශ්‍ය ලෙස භාවිත කිරීම, අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි කිරීම  වැනි තවත් බොහෝ ගැටළු ඇතිවන බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් දැනුවත් සංවාදයක් අත්‍යවශ්‍ය බව ඒ මහතා කියා සිටියේය. මෙම අවශ්‍යතාවය අනාරක්ෂිත ගබ්සාව වැළැක්වීමට පමණක් නොව පවුල් සැළසුම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග යන අංශවලද  අතවශ්‍ය බවත්, එමඟින්  ජනතාව තුළ පවතින වැරදි වැටහීම්, මිථ්‍යාවන් සහ වැරදි විනිශ්චයන් නිවැරදි කිරීමට අවකාශ සැලසෙන බවත් මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ආරාධිත කථිකයින් ලෙස එක්වූ ක්‍රමෝපාය අධ්‍යයනය පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක සහ වෛද්‍ය අජිත් කරවිට, යන මහත්වරුන් විසින් ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, අනාරක්ෂිත ගැබ් ගැනීම් , ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය මෙන්ම ශ්‍රී ලංකාවේ HIV/STI ආසාධනයන් ගේ  වත්මන් තත්වය, අනාගතය සහ උපදෙස් යන මාතෘකා පිළිබඳව අදහස් දැක්වීය.

අනාරක්ෂිත ගැබ් ගැනීම්, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය,  ලිංගික සහ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකව සංක්‍රමණය වන රෝග සහ ශ්‍රී ලංකාවේ HIV තත්වය යනාදී ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි මෙම කෘතිය සකසා තිබේ. ජාත්‍යන්තර ජනගහන හා සංවර්ධන සමුළුවේ ( International Conference on Population and Development (ICPD) ) 25 වන සංවත්සරය මේ වසරේ යෙදී ඇති අතර මෙම ප්‍රකාශනය තුළින් ඉදිරිපත් කරන කරුණු අතිශය වැදගත් වනු ඇත. එමෙන්ම එමඟින්  ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ලෙස එහි අභියෝග සහ අනාගත දිශාවන් ගැන සිතා බැලීමක්ද සිදුකරයි.

Rate this item
(5 votes)