March 29, 2024

හූ කීම සවුත්තු වැඩක්ලු - මහින්දත් කලබල වෙයි

හූ කීම සවුත්තු වැඩකි. ඒ සවුත්තු වැඩේ මේ දවස්වල සිදු වන්නේ දේශපාලන පොරපිටිය තුළය. පොරපිටිය මේ දවස් වල වඩාත් උණුසුම් වී ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති නිසාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු අපේක්ෂකයාට පොල්ල කියනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය යම් ප්‍රමාණයකට විශ්වාසය තබයි. ඒත් අවසානයේදී ශ්‍රීලනිප පොහොට්ටු අපේක්ෂකයා දිනවීමට ගිවිසුම්ගත විය. ඒ සිය පක්ෂ සභාපති වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂික කරමිනි. සමගාමීව පක්ෂයේ සභාපති ධුරය වැඩ බලන තනතුරක් බවට පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව වෙත ලං කිරීමේදී එහි ලේකම් දයාසිරි ජයසේකර මහතා වගේම මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඇඟට පතට දැනෙන වැඩ කොටසක් ඉටු කර ඇත. නමුදු මේ වන විට රට පුරා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වී මාලාවේදී හු රැල්ලක් මතුව ඇත. ඒ හූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඳවුරේ අයට බව නොරහසකි.


හූ තබන රැල්ල පටන් ගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැස්වීම පැවැති අනුරාධපුරයේදීය. එහිදී හූව ආවේ ලොකු කැපකිරීමක් සිදු කර පොහොට්ටුවට සහය දැක්වීමට ඇතැයි කිසිවිටෙක බලාපොරොත්තු නොවූ දුමින්ද දිසානායක මහතා වෙත ය. පහසුව රත්නපුරේදී ජ්‍යෙෂ්ඨයෙකු වූ ජෝන් සෙනෙවිරත්නට මහතා ද වාසුදේව නානායක්කාර මහතා වෙත ද හූ හඬ එල්ල විය එතනින් නොනවතින මේ හු තියෙන රැල්ල ඉතා ඉක්මණින් කුරුණෑගලට සේන්දු විය. ඒ යාපහුවේ දී ටී.බී ඒකනායක හා ගල්ගමුවේ දී තාරනාත් බස්නායක මහතා ඊට ගොදුරු වෙමින් ය.

මේ තබන හූ හඬ වලින් වඩාත්ම කලබලයට පත් වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. මේ පිළිබදව ඉක්මනින්ම සංවිධායකවරු මාර්ගයෙන් පොහොට්ටු පාක්ෂිකයන් දැනුවත් කරන ලෙස ඔහු නියම කළේය. එලෙස හිටපු ජනාධිපතිවරයා පියවර ගත්තේ තත්වය තවදුරටත් පැවතියහොත් ඉන් ඇති වෙන බැරෑරුම්කම ඔහු හොඳාකාරවම දන්නා නිසාය.

Rate this item
(0 votes)