March 29, 2024

තුන්වේල කන්න නැති දරුවන් 06 දෙනකුගේ දුක්බර කතාව (PHOTOS)

September 02, 2019

කුඩා දරුවන් හයදෙනෙකු ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරන මවක සහ පියෙකු  නාඋල පිලිහුඩුගොල්ල පහලගම ප්‍රදේශයේ ජීවත්වෙයි .

ඒ .එම් .නන්දන කුමාර බණ්ඩාර ( 42) මහතා  යු .ජී .අනූෂා චාන්දනී පොඩි මැණිකේ (35) මහත්මිය මේ දරුවන්ගේ දෙමාපියෝවෙති .

මෙම යුවළට දරුවන් හය දෙනෙකි . වැඩිමහලු දියණිය තවමත් දහතුන් හැවිරිදි වියේ පසුවන්නීය.  දෙවැනි දරු උපත ලෙස මෙම යුවළට නිවුන්නු පුත්තු දෙන්නෙක් වෙයි. එම දෙදෙනා තවමත් අටවැනි වියේ පසුවෙයි.  හතර වන  දියණිය වයස අවුරුදු පහකි. පස්වෙනි දියණියට වයස අවුරුදු තුනහමාරකි . හයවෙනි දියණිය වයස අවුරුදු එකහමාරක් පමණ වෙයි.

මෙම දරුවන් හය දෙනා සමඟ ඉතා ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත් වන අනූෂා චාන්දනී පොඩිමැණිකේ මාතාව සොයා අප   නාඋල පිළිහුඩුගොල්ල පහලගම ට සොයා ගියෙමු.

අප නිවසට යනවිට නන්දන කුමාර බණ්ඩාර දරුවන්ගේ පියා කුලී වැඩ සඳහා නිවසින් බැහැරව ගොස් සිටි අතර එක් පුතෙකු ද සිය මිත්තණිය සමග වෙනත්  ප්‍රදේශයකට ගොස් තිබුණු අතර ඉතිරි දරුවන් පස්දෙනා සහ මව නිවසේ සිටියහ.

මෙම අයට තමන්ගේම කියා නිවසක් තවමත් අහිමිය. ඔවුන් ජීවත් වන්නේ   චාන්දනී පොඩිමැණිකේ මවගේ වැඩිමහලු සහෝදරියකගේ නිවසේ තාවකාලිකවය . 

කුලී වැඩක් කරමින් සොයා ගන්නා සුළු මුදලකින්   සැමියා දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සහ ආහාර ලබාදීම සිදුකරන බවත් ඔවුන් සතුව  තිබුණු කුඩා නිවසය  වරුසාවට කඩාගෙන වැටීමත් සමග සහෝදරිය නිවසේ තාවකාලිකව ජීවත්වීමට ඉඩ දුන් බව ඇය හැඬූ කඳුළින් කීවාය.

දියණියන් හතර දෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු ජීවත් කිරීමේදී පාසල් යන දියණිය සහ පුතුන් දෙදෙනාත් පෙර පාසල් යන දියණිය තවමත් පාසල් වියේ නොයන කුඩා දියණියන් දෙදෙනාත් එක වේලක් හැර වේලක් ආහාර ගනිමින් ජීවත්වෙයි .

ඔවුන් තේ කහට කෝප්පයක  විස්කෝතුවක්  පොගවාගෙන එක වේලක් පිරිමහන අයුරු එහි ගිය අපට ද දැක ගැනීමට හැකියාව ලැබිණි.

බොහෝ දියණියන් තම දෙ කනට තෝඩු දෙකක් දමා ගැනීම දැඩි සතුටට පත්වෙයි. එහෙත් මෙම දියණියන්ට ඒ අවස්ථාව ද අහිමි වී තිබේ.

මෙම මවගේ එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ දරුවන් 6 දෙනා හට ජීවත්වීම සඳහා නිවසක් තනා ගැනීම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම පමණකි .ඔවුන් කියා සිටින්නේ ආහාර කොහොම හෝ සොයාදීමට වේලක් හැර වේලක් හෝ දීමට හැකි බවය.

ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ උදව් උපකාර ඇතිව දරුවන්ට අඳින්න පළඳින්න ලැබුණද අලුත් ඇඳුමක් ලබා ගැනීම මෙම කුඩා දරුවන්ගේ සිහිනයකි.

මෙම මව දැඩි සිත් වේදනාවෙන් යුතුව හැඬූ කඳුළින් කියා සිටියේ බොහෝ අය තමාට දරුවන් වැඩියෙන් හැදූ බවට උසුළු විසුළු කරන බවය .එහෙත් කිසිදු දරුවකු තමා වෙනත් අයෙකුට ලබා නොදී කෙසේ හෝ දරුවන් උස් මහත් කරන බව පැවසුවාය.

තම දරුවන්  හය දෙනා හදාගැනීමට විදින දුක් කරදර පිළිබඳව අදහස් දැක්වූ මව වනඅනුෂා  චාන්දනී මහත්මිය.

"අපි ජීවත් වෙලා හිටියෙ අපේම කියලා පුංචි ගෙදරක වැස්සට හුළඟට අපේ පුංචිගේ කඩා වැටුණා පස්සේ අපේ අක්කා රට ගියා එයා අපිට කිව්වා තාවකාලිකව අක්කලා ගෙදර ඉන්න කියලා මේ අපි තවමත් ඉන්නේ අක්කගෙ ගෙදර ."

"මහත්තයා කුලී වැඩ තමයි කරන්නේ ඒයා  හොයාගෙන එන මුදලෙන් තමයි දරුවන්ට  උගන්වන්න කන්න බොන්න බෙහෙත් වලට ඔක්කොම කරන්නේ

ළමයි පාරේ එක්කගෙන යනකොට මිනිස්සු මට දොස් කියනවා දරුවන්ට දුක දෙනවා කියලා." ඉතින් මම හිතාගත්තා මට දරුවෝ වැඩි නෑ කොහොම හරි එයාලා ලොකු මහත් උනහම ඔය  එපා කියලා බනින හැමෝටම ඕන වෙයි කියලා.  "

"මගේ දරුවන්ට උගන්වන්න තිබ්බනං මට ඇති ඒ වගේම තමයි මේ අයට ආහාර පාන ටිකක් අමාරුයි .පිටිකිරි එකක් මේ දරුවන්ට දීලා නෑ මම කොහොමහරි මගෙම කිරි දීලා තමයි මේ තත්වෙට ගෙනාවේ බැරිවෙලාවත් මහත්තයට එක දවසක් හරි අසනීපයක් වුණොත් පහුවදාට දරු පැටව් ටික බඩගින්නේ."

සමෘද්ධිය හදාගන්න වසර ගණනාවක් දුක් වින්දා කියලා කියලා දැන් අවුරුද්දක් විතර වෙනව සමෘද්ධිය හදාගෙන ඉන් එහාට අපිට කියලා කිසිම දෙයක් උදව්වක් කාගෙන්වත් ලැබෙන්නේනැහැ . අහල පහල අයගෙන් පොඩි පොඩි උදව් ලැබෙනවා කන්න බොන්න දරුවන්ට ඒ අය ඇඳලා අයින් කරන ඇඳුම් හම්බවෙනවා හැබැයි මම මහත්තයත් එක්ක ඔය ළමයි ගොඩක් ඉන්න අයට උදව් කරනවා කියපු බොහෝ දෙනෙකුට දුරකථනයෙන් කතා කළා කිසිම කෙනෙක් අපිව ගැන බැලුවෙ නෑ කොහොමහරි මගේ දරුවෝ ටික ලොකු කරගන්න උදව් කරන්න කියලයි මම ඉල්ලන්නේ .මට ඉන්න තැනක් නෑ ලොකුම අවශ්‍යතාවය දරුවෝ වැඩිවියට පත් උනහම ඉන්න තැනක් නැති එක."

මේ කුඩා දරුවන් හට සහ පවුලේ අයට යම්කිසි ආකාරයකින් පිළිසරණක් වීමට හැකි නම් එය මහත් පිනකි. ඔවුන්ගේ ලිපිනය වන්නේ යු .ජී .අනුෂා  චාන්දනී පොඩිමැණිකේ   පිලිහුඩුගොල්ල පහලගම නාඋල, දුරකථන අංකය 070 2844532  ලංකා බැංකුවේ නාඋල ශාඛාවේ ගිණුම් අංකය 9664416 වෙයි .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Monday, 02 September 2019 09:13