April 25, 2024

"ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ" විප්ලවකරුවකුගේ මතක සුවඳ සැප්තැම්බර් 03 දොරට වඩී

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ විප්ලවකාරී මෙන්ම විවාදාත්මක චරිතයක් වූ ආචාර්ය ලයනල් බෝපගේ මහතාගේ චරිතාපදානය ඇතුළත් "ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ" කෘතිය 2019 සැප්තැම්බර් 03 වනදා සවස 2.00ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බෝපගේ මහතාගේ හිතවතෙකු වන මයිකල් කොලන් කුක් විසින් සම්පාදනය කළ (Rebellion, Repression and the Struggle for Justice in Sri Lanka : The Lionel Bopage story) නමැති කෘතිය උපාලි රත්නායක විසින් "ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ" යන නමින් පරිවර්තනය කොට තිබේ.

මෙම පොත එළිදැක්වීමේ උත්සවය අමතා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ ආචාර්ය ලයනල් බෝපගේ යන මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය.

මෙම කෘතිය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් හරහා ආචාර්ය ලයනල් බෝපගේ මෙසේ සිය හඬ අවදි කරනු ලැබීය.

"මෙම කතාවේ මුලික අදහස වුණේ මගේ ජිවිත කතාව ලිවිම නෙවෙයි. මට මෙහෙම වෙන්න බලපෑ දේශපාලන, සමාජ සහ ආර්ථික බලපෑම මොකක්ද කියන කරුණයි මෙම පොතට පදනම වුණේ. මම මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අන් සහෝදරවරුන්ටත් බලපෑවේ මට බලපෑ පොදු කරුණුමයි. විප්ලවකාරී මතවාදයකට යොමුවන අය හැඳින්වෙන නොමඟ යෑම, ත්‍රස්තවාදයට නතු වීම වැනි සම්ප්‍රදායික අදහස් වලින් බැහැරව ඒ සඳහා බලපෑ මේ රටේ පාලන පැලැන්තියේ ක්‍රියා පිළිවෙත මේ පොතේ කතාවට පසුබිම් වී තිබෙනවා. 71, 88 - 89 කැරලි මෙන්ම දෙමල අරගලය ආදී විෂයන් සම්බන්ධයෙන් ගොඩනැගෙන සම්ප්‍රදායික මතවාද වලින් මිදුණු නව ,මතවාදයක් ඔස්සේ මේ පොත ලියවී තිබෙනවා."

Rate this item
(1 Vote)