April 23, 2024

කුඹුක් ගසක් මතින් අවාරයේ සිරිපා කරුණා කරන මිනිස්සු (PHOTOS)

අඩි එකසිය අටක් උසකින් පිහිටි කුඹුක් ගසක් මත මාස හයක කාලයක් උත්සාහ කරමින් තැනූ සිරිපා අනුරුවක් වන්දනාමාන කර ගැනීමට ඊයේ (16) දින සිට මාතලේ ප්‍රදේශයේ ජනතාවට උදාකරදීමට  මාතලේ රත්තොට මැටිහක්ක ප්‍රදේශයේ තරුණයන් පිරිසකට හැකි වී තිබේ.

රත්තොට අබන්ගගකෝරලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මැටිහක්ක පුරාණ බෝධිමලු විහාරයේ පිහිටි විශාල කුඹුක් ගසක්  උඩ මෙම සිරිපා අනුරුව නිර්මාණය කොට තිබේ.

විහාරාධිපති  මහනුවර හල්ලොලුව ශ්‍රී සාරානාථ ධර්ම විද්‍යාල මහා පිරිවනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත මිල්ලගල  ගුණසිරි හිමියන් ගේ අනුශාසනා ඇතිව ප්‍රදේශයේ තරුණ තරුණියන්   ඉතා කුඩා පිරිසක් එක්ව මාස හයක පමණ කාලයක් මෙම සිරිපා අනුව නිර්මාණය කිරීම විශේෂත්වයකි.

මෙම සිද්ධියට මූලික වූ එම ගමේ තරුණයකු වූ රසික හේමන්ත මහතා කියා සිටියේ මෙම සිරිපා අනුරුව නිර්මාණය කිරීම සඳහා කිතුල් ගස් 56 ක් ලනු කිලෝ දෙසීයක්  යකඩ ඇණ කිලෝ 150ක් පමණ වියදම් වූ බවත් තම ගම්මානයේ තරුණ තරුණියන්ගේ සහ වැඩිහිටියන්ගේ ද ශ්‍රමය  මාස හයක පමණ කාලයක් යොදාගෙන මෙම සිරිපා අනු රුව  නිර්මාණය කළ බවය.

මේ දිනවල රත්තොට  මැටිහක්ක පුරාණ බෝධි මළු විහාරස්ථානයේ අවට ගම්වාසීහු  අවාරයේ  සිරිපා අනුරුව දැක බලා ගැනීම සඳහා කරුණා කරති. මෙම පිරිස සිරීපාදේ කරුණා කරන ආකාරයටම බුදු ගුණ මෙනෙහි කරමින් අලංකාර විඩාව සංසිඳුවා ගන්නා කවි ගායනා කරමින් අඩි එකසිය අටක් කුඹුක් ගස තරණය කිරීම සිදුකරති.

ගසට නැගීම සදහාද කිතුල් කොට මතින් අඩි 200ක් පමණ ගමන් කළයුතුව ඇත .

අඩි එකසිය අටක් ගමන් කරන අතරතුර දී දොළොස් මහේ පහන දිවා ගුහාව සීතගඟුල ආදී ස්ථාන ගස මත ම නිර්මාණය කොට තිබීම විශේෂත්වයකි.

ග්‍රාමීය තරුණයන්ගේ අපූරු නිර්මාණය තවත් දින කිහිපයක් විහාරස්ථානය තුළ දැක බලාගැනීමට වැඳපුදා ගැනීමට ඉඩ හසර ලබා දීමට තීරණය කොට තිබෙන බව ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිතමිල්ලගල  ගුණසිරි හිමියෝ පවසති.

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ අති දුෂ්කර ගම්මානයක ජීවත්වන මෙම තරුණයන් විහාරස්ථානයට ඒකරාශී වී සිදුකළ මෙම මහා නිර්මාණය අති විශිෂ්ට නිර්මාණයක් බවය.

ඉතාමත් පැරණි ඉතිහාසයක් මෙම විහාරස්ථානයට පැවතුනද ආර්ථික අතින් ඉතා අපහසු කම් මධ්‍යයේ ජීවත් වන දායක පිරිසක් ජීවත්වන ප්‍රදේශයේ විහාරස්ථානය පිහිටා තිබෙන  නිසාම තරුණයන්ගේ කැපකිරීම ඉතා විශාල බව නා හිමියෝ පෙන්වා දෙති.

ගම්මානයේ ජීවත්වන වැඩිහිටි පිරිස ද කියා සිටියේ තම ගම්මානයට සිරිපා අනුරුව නිර්මාණය කිරීම සඳහා තරුණියන් විශාල කැපකිරීමක් සිදු කළ බවය .අඩි එකසිය අටක් කුඹුක් ගස මත නැග එහි වඩා හිඳුවා ඇති සිරිපා අනුරුවට මල් පහන් පූජා කොට නළල තබා වන්දනා කිරීමෙන් අනතුරුව බැතිමත්හු ඝාණ්ටාරය ද නාද කරමින් නැවතත් කවි කියමින් පහළට බසිති.

ඉහළ සිට බැලූවිට එක් පසකින් කරගහතැන්න කඳු පන්තියත් අනෙක් පසෙන් නකල්ස් කඳු පන්තියත් වටවී මෙම ප්‍රදේශය වළාකුලෙන් බර සුන්දර දසුන් ද ස්ථානයේ රමණීයත්වය ද විදහා දැක්වීම විශේෂත්වයකි.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)