April 23, 2024

කකාපෝ ගිරවුන්ගේ වාර්තාගත වර්ධනයක්

කකාපෝ කියන්නේ ගිරව් වර්ගයක්. මෙයාලා තරමක් සුවිශේෂි⁣ වෙනවා, ඒ සුවිශේෂි හේතුව වන්නේ ලෝකයේ සියලුම ගිරව් වර්ග අතරින් තරබාරුම ගිරා විශේෂය මෙයාලා වීමයි.
මෙයාලාව Strigops habroptilus කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. ඒ වගේ මේ කකාපෝ ගිරව්න් ට බකුසූ ගිරව්න් කියලත් කියනවා. කකාපෝ කියන නාමයේ අර්ථය වෙන්නේ රාත්‍රී ගිරවා යන්නයි.

වාර්තා වන අන්දමට මෙම ගිරව් විශේෂය ලෝකයේ ම ඉන්නේ 147 දෙනෙකු විතරයි. මෙයාලාගේ මුල් නිජ බිම විදියට සලකන්නේ නවසීලන්තයයි. මෙයාලාගේ ප්‍රමාණය අඩු නිසා ම ඉතාමත් දුර්ලභ පක්ෂි විශේෂයක් විදියටත් කකාපෝලා ව නම් කරලා තියෙනවා.

නවසීලන්තය මේ පක්ෂි විශේෂය රැක ගැනීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කරමින් ඉන්නවා. ඒ අනුව නවසීලන්තයේ Department of Conservation (DOC) - (සංරක්ෂණ දෙපාර්තුමේන්තුව) විසින් කකාපෝ ගිරව් විශේෂය රැක ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණා. වර්ෂ 1970 දී මෙයාලා ගැන අධ්‍යයනය කිරීමේ කටයුතු ආරම්භ වුණු අතර 1977 දී මෙම ගිරා විශේෂයේ හමු වී තිබුණේ 18 දෙනෙකු පමණයි. ඒ අනාවරණයත් සමඟ ම නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මෙයාලා ව සංරක්ෂණය කිරීම ආරම්භ කරනවා.


කකාපෝලා තරබාරු හා තරමක් වි⁣ශාල නිසා විලෝපිකයන්ට හසු වීමට ඇති හැකියාවත් වැඩි, ඒ වගේ දඩයම්කරුවන්ගේ ක්‍රියා නිසාත්, දේශගුණික හා පාරිසරික වෙනස් වීම් හේතුවෙන් මෙයලාගේ ප්‍රියතම ආහාරය වන රීමූ නම් ශාකයේ ඵලයන් අඩු වීමත් ඒ නිසා සංවාස කාලයට අවශ්‍ය ශක්තිය ගැහැණු කකාපෝ පක්ෂින්ට නොලැබීමත් මෙයාලාගේ ගහනය අඩු වෙන්න බලපෑ බව සත්ත්ව පර්යේෂකයන් සඳහන් කරනවා.

මෙයාලාගේ වර්ධනය නැවත ඇති කිරීම සඳහා විසඳුම ලෙස යොදා ගන්නේ කකාපෝලාගේ විලෝපිකයන් නැති, එයාගේ වර්ධනයට අවශ්‍යය කරන හිතකර පරිසරයක් සහිත දූපතක එයාලාට පර්යේෂකයන්ගේ අවධානය යටතේ වර්ධනය වෙන්න ඉඩ හැරීමයි.
මෙම පියවර සාර්ථක වීම නිසා 18 සිටි කකාපෝලාව 147 දක්වා වර්ධනය කර ගන්නට හැකියාවක් ලැබුණා. මෙම වසරේ ද පසුගිය 2016 වසරට වඩා වැඩි පැටවුන් ප්‍රමාණයක් ඉපදුනු බව නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බලධාරීන් පෙන්වා දෙනවා. ඒ අනුව මේ වසරේ නව සමාජීකයන් 76 දෙනෙකු උපත ලබා තිබෙනවා.

මේ 76 දෙනාම කකාපෝ දෙමාපියන් සහ පර්යේෂකයන්ගේ අවධානය යටතේ හැදි වැඩෙන්නට නියමිතයි.
Rate this item
(1 Vote)