October 19, 2019

අසන්ධිමිත්තා ගැන විචාරයක්

පියාගේ භාෂා විශ්වය යනු තව දුරටත් මිනිසා ශිෂ්ට කිරීමේ අවියක් (උපකරණයක්) නොව තවත් මිනිසෙක් රැවටීම සඳහා යොදා ගන්නා වසඟයේ අවියක් ය (weapon of seduction). ආදරය වෙනුවෙන් ලියවෙන ලිපියේ ආදරයේ භාෂාව ඔස්සේ විකී කරන්නේ ගැහැණියගේ ආශා හිඩැස තුළට රිංගා ඇය සූරාකෑම යි. නමුත් ටයිටැනික් චිත්‍රපටයේ ජැක් කරනු ලබන්නේ තම ශරීරය ඇය නමින් පූජා කිරීමයි. රෝස් ට ජීවිතය නැවත ලබා දී ඔහු කිසි කතාවක් නැතිව මරණය වැළඳ ගනී.

විකී හෝ වෙනත් ඕනෑම නමකින් නමින් කොළඹ වීදියේ සැරිසරන පිරිමියා විසින් කරන්නේ තම පැවැත්ම වෙනුවෙන් ආදරය පවා දීමයි. 
එය විකී හෝ අංජන හෝ යන කුමන නමින් හෝ ඔබගේ ගේට්ටුව අස්සෙන් පැමිණිය හැක. සමහර විට ඔහු රැඩිකල් මාක්ස්වාදී කතාවක් වුව ද ඔබ වෙනුවෙන් ගේට්ටුව අසලදී පැවැත්විය හැක. ඔහු ඔබගේ මිදුල අතුගානු ඇත. සබන් ගා පිට අතුල්ලනු ඇත. කොණ්ඩය ෂැම්පු කරනු ඇත. කෑම උයනු ඇත. තේ හදා ගෙන ඔවුත් ඔබගේ අතට ම දෙනු ඇත. නිදි යහනේ ඔබව සතුටු කරනු ඇත. අවසානයේ ඔබගේ දේපළ වෙනුවෙන් ඒ වසඟකාරී ආදරවන්තයා ඔබව නිදි යහනේ ම මරා දමනු ඇත. මේ නව උමතු මානව සම්බන්දතා කලාපය (ඇත්ත උමතුව ඇත්තේ එම මහළු මවට නොව මෙවන් නරුමයින් ගේ තුළට වද්දා ගන්නා අපට ය. දෑස නොපෙනුනත් ඇයට අනාගතය පෙනේ. පිරිමිකම මියගිය නිවසක සිහිනයෙන් මෙන් අවුත් තුවක්කුව දික් කිරීමට ඇයට හැකිවේ) චිත්‍රණය කරමීන් හඳගම තීරණාත්මක බ්‍රෝදිලාදියානු කඩයිමක් මේ මොහොතේ පැන ඇත. මෙම චිත්‍රපටය නව ලාංකික අත්හදා බැලීමකි. එය දේශපාලනය කරන අප විසින් අගය කළ යුතුය.

ලාංකික දේශපාලන තුළ ඔහු ඔහුගේ පෞද්ගලික ජිවිතයේ විශාල කොටසක් කැපකර අපට දැවැන්ත පාඩම් උගන්වා ඇති බැවින් ඔහුගේ ප්‍රයත්නය තවත් සංකේතීය වන බව මේ චිත්‍රපටයේ ‘පාර-අනුභූතික’ සංඥාව යි (transcendental sign). චිත්‍රපටය තුල නොකියවෙන ඔහුගේ වේදනාව සහ ඒ වේදනාවේ තේමාත්මක ආත්මීය ප්‍රකාශනය හඳගමගේ අත්දැකීමේ යථාර්තය (reality) සහ අධි යථාර්තය (virtuality) අතර පාර ස්වභාවයයි. ගැහැණිය විසින් කරන හිස්ටරික පෙළඹවීම පිළිබද වූ ‘ඇගේ ඇස අගින්’ මෙම චිත්‍රපටය වෙනස් වන්නේ මෙය පුරුෂ විපරීත බව (සහ නරුම බව) පිළිබදව වන ප්‍රකාශනයක් වන හෙයිනි. මෙම චිත්‍රපටයේ සත්‍ය ගොදුර පසු ධනවාදය තුල ගැහැණිය නොව පිරිමියා ය. 
තමාට හමුවන පිරිමි පරාණ වල පැරණි අගතිගාමී මතකයන් දූරිභූත කර, ගමේ මතකයන් ගෙන් ඛණ්ඩනය කර, සමාජය රවටමින් එහෙත් උදේ දිවා රැයේ බුදුන් වඳින පිරිමින් ට නව පන්නයේ ෂෙරෝන් ස්ටෝන් මාදිලියේ (යට ඇඳුම් රහිත ව පොලිසියට එන ආකාරයේ) හිස්ටරික තොයිලයක් නටා, ආශාව නැවත පණ ගන්වා, ආශාව සුවපත් කර නව විශ්වයක් වෙතට ඇද දැමීමට තරම් අයගේ ශරීරය අනුරාගික නොවේද? ඇයගේ රාත්තල් තුන් සියයේ ශරීරය ම ඇයගේ මල පුඩුව නොවේද? එල්ලුම් ගහේ මළ පුඩුව මත කරන වියරු සිනහව පිරිමි සමාජයේ නපුංසක බව වෙත කරන උපහාසාත්මක සිනහවක් ද? නැත්නම් ඇය පුරුෂයා සදාකාලික ලෙස වසඟ කර ගත නොහැකි (impotent body) ඇයගේ ශරීරයෙන් ම කරනා හුදු ආත්මරාගී පළිගැනීමක් ද (narcissistic self-annihilation)? විකී ගේ පුරුෂ ලිංගය කපා දමන බවට ඇය කරන තරවටුව වනාහී සීමා රහිතව සමාජය රවටන පිරිමියා (limitless male seduction – අසීමාන්තික පුරුෂ වසඟය) වෙත කරන ස්ත්‍රී කප්පාදු තර්ජනයක් ද? එමෙන්ම හැමදා ම තමන්ගේ ශරීරයට උසුළු විසුළු කරන කොළු රැල විකීගේ ආක්‍රමණික පැමිණීමෙන් පසු නිශ්ශබ්ද වූ විට අසන්ධි මෙලන්කොලික වේ ද? ඇය පවා එනයින් පිරිමි වසඟය අපේක්ෂා කරනවා ද? පුරුෂයා එසේ නම් රඟ දක්වන්නේ ස්ත්‍රී මෙලන්කොලික විෂාදයේ වස්තු භූමිකාව ද (object of feminine depression)? යනාදී වශයෙන් දේශපාලන මානයන් ගණනාවක් සිනමාකරු අප වෙත ප්‍රක්ෂේපනය කරයි. 
මෙම ගැටළු යනු ‘අසන්ධිමිත්තා’ යනු ගැඹුරු සිනමා කෘතියක් බවට දෙස් දෙන සාධක වේ. එහි සෑහෙන පමණ ගෞරවයක් නවකතාකරු ට ද හිමිවේ.

එක්තරා අවස්ථාවක අසන්ධි මෙසේ කියයි. රස්සාවක් කරනු වෙනුවට ගෙදර වැඩ කරමින් සිටින පිරිමියෙක් වීමට තමාට උවමනා බව විකී පවසන විට ම ඇයගේ මුවට නැගෙන්නේ ‘මීට වඩා හොඳයි ජංගියක් ඇන්දුවා නම්’ යනුවෙනි. සත්‍ය ලෙසම විනයගත ලෙස රක්ෂාවක් කරනු වෙනුවට සහ නිෂ්පාදන ක්‍රියාවලියට අර්ථවත් ලෙස සම්බන්ද වනු වෙනුවට් විකී නැමැත්තාට අවශ්‍ය වන්නේ ඒ මොහොතේ යමක් කරමින් සහ කියමින් (අඟල් හතලිස් පහේ ටී. වී. ගැන, කොම්පියුටර් ගැන, හෝම් තියටර් ගැන ෆැන්ටසි (ප්‍රති)නිෂ්පාදනය කරමින්) තම වසඟය දිග්ගැස්සීම යි. ඔහුට අවශ්‍ය ඔහුගේ ලුම්පන් ජීවිතය දිගට ම පවත්වා ගෙන යාමටයි. චිත්‍රපටය අවසාන වන්නේ ද ඔහුගේ ෆැන්ටසි උගුල තුල තවත් ගැහැණියක් සිර කිරීමෙනි. ඔහු කරන්නේ අපගේ ම ෆැන්ටසිය අපට විකිණීමයි. කැම්පස්, චිත්‍රපට, හෝම් තියටර් යනු අපගේ සමකාලීන ෆැන්ටසි ය.

බස් රථ වලට ගොඩ වෙන හිඟන්නන් විසින් කරන්නේ ද මෙයම ය. මේ යුගයේ හිඟාකෑම යනු ඉතාම ලාභ දායක රැකියාවකි. දුප්පත් කම සහ අව-වරප්‍රසාධිත බව යනු අදායම් උල්පතකි. විකීගේ පැවැත්ම නරුම යමක් (cynical existence) වන අතර එය පිරිමි නරඹන්නෙකුට ක්ෂිතියකි. දේවල් දන්නා සාහිත්‍ය පොත් පත් කියවන්නෙකු සේ පෙනීසිටින ඔහු ලංකාවේ ඌන සංවර්ධිත බසයක අසුන් ගෙන ‘අසන්ධිමිත්තා’ නවකතාවේ කොපියක්  කියවන තරුණ ස්ත්‍රියට කියන්නේ එම පොතෙන් හඳගම චිත්‍රපටියක් කරන්න යන බවකි. මේ ඒ ඔහු කිවූ චිත්‍රපටය යි. 
ඉතින් ඔහු කිවූ නිසා ම කිහිප වතාවක් චිත්‍රපටය නරඹන්න. ෆැනොන් කිවූ පරිදි ම ලුම්පන් නිර්ධනීන් අවතක්සේරු නොකරන්න. 1978 න් පසු ලංකාවේ ජන ගහනයෙන් විශාල කොටසක් ඔවුන් නියෝජනය කරයි. යූ. එන්. පියට සහ පොහොට්ටුවට චන්දය දෙන වැඩි පිරිසක් ඔවුන් ය. එය මතක තබා ගනිමින් ම අද්‍යතන පැවැත්ම තුළ වඩා වසඟකාරි පිරිමියා ද ගැහැණිය ද යන ගැටළුවට උත්තරය සොයන්න. පසුව තව කතා කරමු.

Rate this item
(1 Vote)