April 25, 2024

එක් දෙයකට නම් සමත් හෙට දවස අසමත්

February 12, 2019

තරගකාරී ලෝකය දියුණුවට පත් වෙද්දී වැඩි ඉල්ලුමක් ලැබෙන්නේ විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වන චරිතවලට. ඒක එක්තරා විදිහකින් ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් සිද්ධ වෙන දෙයක් වුණත් පෞද්ගලික මට්ටමින් සලකා බලද්දි සාර්ථක පෞරුෂයක් ලෙස කැපී පෙනෙමින් වර්ධනය වෙන්න බහුවිධ හැකියාවන්ගෙන් සන්නද්ධ වීම වැදගත්. අනෙකුත් බොහෝ චරිත වගේ එක් කලා අංශයකට පමණක් සීමා නොවී ගායනයෙන්, නර්තනයෙන් වගේම රංගනයෙන්ද ලොව වශී කළ අතිසාර්ථක තාරකාව ජෙනිෆර් ලෝපේස්.


1969 ජූලි 24 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ බේ‍රාන්ක්ස්හිදී ජෙනිෆර් ලින් ලෝපේස් උපත ලබනවා. දැරියන් තිදෙනෙක් ඉන්නා පවුලක මද්දුමී වුණු ජෙනිෆර්ගේ ළමා කාලය ගත වෙන්නේ අඩු ආර්ථික මට්ටමකයි. ඇගේ පියා ඩේවිඩ් ලෝපේස් පරිගණක තාක්ෂණවේදියෙක්. මව ගුවාඩලූප් රොඩ්‍රිගෝ ගෘහණියක්. ඔවුන් ජීවත් වුණේ මහල් නිවාස සංකීර්ණයක ඉතා කුඩා නිවෙසක. දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් ඉටු කරන්න මවුපියෝ සූදානම්. ඩේවිඩ් අතිකාල සේවයක් පවා කරන්න පෙලැඹෙන්නේ තම දියණියන් තිදෙනාගේ ඕනෑ එපාකම් කිසිදු අඩුපාඩුවකින් තොරව සපුරා දීමට උත්සාහ කළ නිසයි.

ලෝපේස් පවුලට පෝට රීකෝ සම්භවයක් තිබෙන නිසා ජෙනිෆර්ගේ මවු භාෂාව වුණේ ස්පාඤ්ඤ භාෂාව. නමුත් මවුපියන් උනන්දු කළා තමන්ගේ දියණියන් තිදෙනාට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. ජෙනිෆර්ගේ මව තම දියණියන් තිදෙනාටම හොඳ පාඩමක් කියා දුන්නා. සාමාන්‍යයෙන් පොතපතටම දරුවන් යොමු කරන මවක් නොවී ඇය දියණියන්ට නර්තනය හා ගායනය සඳහා ඉඩ හසර ලබාදුන්නා. ගෙදර මොන තරම් අඩුලුහුඬුකම් තිබුණත් දියණියන් තිදෙනෙක්ගේ සිනා හඬත් මියුරු ගායනයත් මනරම් නර්තනයත් ඇති ගෙදරක් සියල් සපිරි නිවෙසකටත් වඩා පිරිපුන්. දියණියන් තිදෙනාගෙන් හොඳින්ම කලාව ග්‍රහණය කරගත්තේ ජෙනිෆර්.

පාසල් කාලයේදී ජෙනිෆර් පොතපතේ වැඩට වඩා දක්ෂතාව දැක්වූයේ මලල ක්‍රීඩාවලට. විශේෂයෙන්ම ජිම්නාස්ටික් ක්‍රීඩාවට සහ ධාවන තරගවලට සහභාගි වූයේ ජාතික මට්ටමේ දක්ෂතා දක්වමින්. නමුත් ඇගේ ක්‍රීඩා කෞශල්‍යයට වඩා කලා හැකියාව ඉස්මතු වුණා. 1986 වසරේදී පාසලේ අවසන් ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබමින් සිටි ජෙනිෆර් සිනමා නිර්මාණක තිර පරීක්ෂණයක් ගැන ලැබුණු ආරංචියක් මත ඒ වෙත යොමු වෙනවා. ඒ My Little Girl නම් වූ අඩු පිරිවැයක් සහිත චිත්‍රපටයක්. නමුත් ඒ අත්දැකීම ජෙනිෆර්ට ඩොලර් මිලියන ගණනක හීනයක් ලබාදුන්නා. තමන් කවදා හෝ අංක එකේ තරුවක් විය යුතුයි කියන බලාපොරොත්තුව දාහත් වියැති ජෙනිෆර්ගේ මනසේ තැන්පත් වුණේ ජීවිතයම වෙනස් මඟකට යොමු කරමින්.

කුඩා චරිත ඔස්සේ ක්ෂේත්‍රයේ දිග - පළල ලකුණු කරමින් සිටි ජෙනිෆර්ගේ ජීවිතය ආලෝකවත් වෙන්නේ 1997දී අෑට ලැබුණු අභියෝගාත්මක චරිතයක් සමඟයි.අවාසනාවන්ත ලෙස මියැදුණු ජනප්‍රිය ගායිකා සෙලීනා කින්ටානියා පෙරෙස්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුණු Selena චිත්‍රපටයේ කතා නායිකාව ලෙස ජෙනිෆර් රංගනයෙන් දායක වෙනවා. බොහෝදෙනාගේ පැසසුම් ලබමින් රංගනයේ ස්ථාවර වන ජෙනිෆර් එතැනින් නවතින්නේ නෑ.

කුඩා කාලයේ ලැබූ ගායන රුචිය ඔස්සේ ජෙනිෆර් ගායන කලාවට අවතීර්ණ වෙනවා. බොහෝ දෙනෙක්ට දෙනවා 'ගායනයට යොමුවෙන්න එපා, වැරදුණොත් රංගනයෙන් ගොඩනඟාගත් ජනප්‍රියත්වයත් නවතීවි' යන අවවාදය. නමුත් ඇගේ චිත්ත ධෛර්යය අන් සියලු දේට වඩා ප්‍රබල නිසා සැවොම පුදුමයට පත් කරමින් රංගනය අභිභවා ජෙනිෆර්ගේ ගායන හැකියාව මුළු ලෝකයම ආක්‍රමණය කිරීමට සමත් වුණා. දශක එකහමාරකට අධික කාලයක් අංක එකේ නිර්මාණ රැසක් ඔස්සේ සාර්ථක වන ඇය නර්තනයෙන්ද දස්කම් දක්වමින් රූපයෙන්ද අගතැන්පත් කාන්තාවක් බවට පත්වෙනවා. මේ වසරට පනස් වසර සම්පූර්ණ වුණත් නවක කලාකාරිනියන්ට පවා ඇය අභියෝගයක් වෙන්නේ ලෝකයේ සරාගීම කාන්තාවන් අතර ඉහළින්ම වැජඹෙමින්.

ජෙනිෆර් මෙතෙක් කල් දායක වුණු චිත්‍රපටවලින් ලත් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්නයි. ලොව පුරා ඇගේ සංගීත ඇල්බම මිලියන 80කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා. 2012 වර්ෂයේදී සුප්‍රකට Forbes සඟරාව විසින් වසරේ තාරකාව ලෙස නම් කළේ ජෙනිෆර් ලෝපේස්. සම්මාන 121ක්, හොලිවුඩයේ සුවිශේෂී අයට පමණක් පිරිනැමෙන සදාකාලික ගෞරව සිහිවටනය වන Walk Of Fame තරුවක් සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක මූල්‍යමය වත්කමක් හිමි ජෙනිෆර් ලෝපේස් ලෝක ඉතිහාසයේ බිහි වූ බහුවිධ දක්ෂතා ඇති සුළුතර තාරකා පොකුරේ ඉදිරියෙන්ම සිටින සාර්ථක කාන්තාවක්.

'මට බොහෝ දෙනෙක් කිව්වා මේ වැඩ නවත්වන්න, මට රඟපාන්න, සින්දු කියන්න, නටන්න හැකියාවක් නෑ කියලා. ඒ දේවල් හිස මුදුනින් පිළිගත්තා නම් අද මම නිවෙසට විතරක් සීමා වුණු කාන්තාවක් වෙන්න ඉඩ තිබුණා. මිනිස්සුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් තමන්ගේ ඇතුළාන්තය දන්නේ තමන් විතරයි. තමන්ගේ දක්ෂතා ගැන, තමන්ට ළඟා වෙන්න පුළුවන් ඉලක්ක ගැන දන්නේ තමන් විතරමයි. ඒ නිසා ඔබේ හදවත රිසි මාවතේ ගමන් කරන්න. ඒ ගමන අතරමඟදී වැරැදුණත්කමක් නෑ. අපි දෙයක් ඉගෙන ගෙන වඩාත් සාර්ථකව ඉදිරියට යන්නේ අපිට වෙන අත්වැරදීම්වලින්, අපිට ගත කරන්න සිදුවෙන දුෂ්කර කාලයන්ගෙන්. අපිට එන බාධක සැලකිය යුත්තේ ආශීර්වාදයන් විදියටයි.'

හැමදේම සමබර ජීවිතයකට තියෙන්නේ ඒකාකාරී බවක්. අලුත් දේවල් ගවේෂණය කරන්න හෝ දියුණු වෙන්න ඒකාකාරී මිනිස්සු පෙලඹෙන්නේ නෑ. ඒ නිසා හීන හඹාගෙන යන්න, ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. දියුණු වෙන්න අවශ්‍ය එච්චරයි.

Rate this item
(2 votes)