March 29, 2024

කොලිවුඩය හෙල්ලූ තමිල්නාඩුවේ කැත කොල්ලා Dhanush

February 10, 2019

ජීවිතය ඉදිරියට ගලා යන්නේ පූර්ව සූදානමක් ඇතිවද නැතිවද කියන දේ අදටත් ප්‍රශ්නයක්. නමුත් දෛවයෙ යමක් ලියැවිලා තියෙනවා නම් ඒ දේ සිදුවීමේ ඉඩකඩ වැඩියි. පවුලේ පෙරැත්ත කිරීම නිසා අකැමැත්තෙන් කැමරාව ඉදිරියේ හිටගෙන රිදී තිරය සහ රසික හදවත් ජයගත් ඔහු කොලිවුඩයේ පොදුජන වීරයා ධනුෂ්.

1983 වසරේ ජූලි මස 28 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තේනි නගරයේදී වෙන්කටේෂ් ප්‍රභූ හෙවත් සුරතල් නමින් ධනුෂ් උපත ලබනවා. ඔහු සෙලියුලොයිඩය ලෙයින්ම රැගෙන ආව දරුවෙක් වුණේ ඔහුගේ පියා කස්තුරි රාජා සිනමාවට අවතීර්ණ වෙන්න පෙරුම් පුරමින් සිටි පුද්ගලයෙක් වීම නිසායි.

ධනුෂ්ගේ මුල් ළමා විය දරුණු අගහිඟකම් මැද ගත වුණා. ඔහුගේ පියා සේවය කළේ ඇඹරුම්හලක. ඔහු තමන්ගේ වැඩපළට කිලෝමීටර් 11ක් පයින් ගමන් කරන්නේ තමන්ගේ දරුවන්ට අවශ්‍ය කරන දෑ මිලදී ගන්න මුදල් ඉතිරි කරන්නයි. ධනුෂ්ගේ මුළු පවුලම ජීවත් වුණේ තනි කාමරයක. ජීවිතය ආරම්භයේදී දුක හඳුනන දරුවෙක් බවට ඔහු පත්වුණා.

කස්තුරි රාජා තමන්ගේ වැඩ අතරේ තිර පිටපත් ලියන්න යොමු වුණේ හැකියාව මොට වෙන්න ඉඩ නොතබමින්. කාලානුරූපීව ඔහුට හැකි වෙනවා සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කොලිවුඩ් සිනමාවට අවතීර්ණ වෙන්න.

ධනුෂ්ගේ කතාව අනිත් ජීවිත කතාවලින් වෙනස් වීමට ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඔහු නළුවෙක් වෙන්නේ මවුපියන්ගේ සහ සහෝදරයාගේ බලවත් බල කිරීම නිසායි. රූගත කිරීම්වලට සහභාගි නොවී ඉන්න ධනුෂ් මහත් වෙහෙසක් දැරුවා. උපවාස පවා කරමින් තමන්ට නළුවෙක් වීමේ කිසිදු ආසාවක් නෑ කියනකරුණ තේරුම් කර දෙන්න උත්සාහ කළා. නමුත් ඒ කිසි දෙයකින් පලක් වුණේ නෑ. මවුපියන් දරුවන්ට ඉලක්ක නියෝග කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. තමන්ට හැකියාව තියෙන අංශයටයි දරුවෙක් යොමු විය යුත්තේ. නමුත් ධනුෂ්ගේ පවුලේ අයට වැටහුණා ඔහුගේ ඇතුළාන්තයේ නළුවෙක් ජීවත් වෙන බව. ඒ නිසායි ධනුෂ්ව බලෙන්ම වගේ කැමරාව ඉදිරියේ හිටවන්නේ.

කස්තුරි රාජාගේ Thulluvadho ilamai  චිත්‍රපටයෙන් රංගනයට පිවිසෙන ධනුෂ් ආධුනික ගති නැති සැලකිය යුතු මට්ටමේ දියුණු රංගනයක් ඉදිරිපත් කරනවා. නමුත් එයට එතරම් සුබවාදී විචාර ලැබෙන්නේ නෑ. ඔහු කියවූ පළමු විචාරයේදී ලියැවී තිබුණේ "මේ වගේ අදක්ෂ, කැමරාව ඉදිරියට ඇවිත් හිටගන්න තරම් වත් සුදුසු නැති, කිසිම නළු පෙනුමක් නැති කැත කෙසඟ තරුණයෙක් ඇයි මේ තරම් සුන්දර සිනමාවට එන්නේ" කියලායි. ධනුෂ්ට මේ විචාරවලින් දරාගන්න බැරි තරම් දුකක් නොදැනුණා නං ඒක පුදුමයක්. නමුත් ඔහු එයින් නොසැලී තමන්ගේ ගමන දිගටම ඉදිරියටම යනවා.

කාලයාගේ ඇවෑමෙන් මින්දද හී සර වැදුණු ධනුෂ්ගේ ආදරයත් හරියට සිනමා ප්‍රේම පුවතක් වගේ. තමිල්නාඩුවේ තරුණයකුට විවාහ වෙන්නපුළුවන් ඉහළම තලයේ යුවතිය එක්කයි ඔහු ආදරයෙන් බැඳුණේ. ධනුෂ් 2004 දී කොලිවුඩයේ රජු රජිනිකාන්ත්ගේ වැඩිමල් දියණිය අයිෂ්වර්යා සමඟ විවාහ වෙනවා. මේ සිද්ධිය උත්කර්ෂයට නැඟුණු කාරණාවක් වුණත් මෙතැනින් එහාට ධනුෂ්ගේ සිනමා දිවියට ඇතිවෙන්නේ දැඩි අර්බුද තත්ත්වයක්. මොකද මෙතනින් එහාට ධනුෂ්ව හඳුන්වන්න ගත්තේ. "රජිනිකාන්ත්ගේ බෑනා' කියන ලේබලයෙන්. තමන්ගේ අනන්‍යතාව මාමාගේ තේජසින් වෑහෙන හැටි දකින ධනුෂ් දෙගුණයක් මහන්සිවෙලා තමන්ගේ සිනමා අනන්‍යතාව සනිටුහන් කරන්න වෙහෙසෙනවා.

ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයට හරියන්න හරි කාලයක් එනකං ඉවසන්න අවශ්‍යයි. ධනුෂ්ට ඒ කාලය උදා වුණේ 2011දී. ඔහු එක රැයින් විශාල පිරිසකගේ අවධානය දිනාගන්නේ සිනමාවෙන් නොවීම විශේෂත්වයක්. ඔහුගේ එවකට නිකුත්වීමට නියමිත වූ '3' චිත්‍රපටයට ගීතයක් රචනා කර ඔහුම ගායනා කර YouTube වෙත මුදා හරිනවා. අනපේක්ෂිත ලෙස මේ ගීතය ලෝක ප්‍රසිද්ධ වෙන්නේ BBC නාළිකාවේ පවා ප්‍රවෘත්තියක් පළවෙන තරමේ ගෝලීය අවධානයක් දිනාගනිමින්. ඒ තමයි මීට වසර කිහිපයකට පෙර සැමගේ මුවගේ රැඳුණු ''Why This Kolaveri Di'' ගීතය. ඉන්දීය ඉතිහාසයේ මිලියන 100ක ඍඪඥඹඵ ඉක්මවූ පළමුවැනි වීඩියෝව වෙන්න කොලවෙරි ගීතයට හැකිවුණේ ධනුෂ්ව රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද ස්ථාවර තරුවක් බවට පත් කරමින්.

Polladhavan, Aadukalam, Velayilla Pattadhari, Marri  වැනි අතිසාර්ථක නිර්මාණත් Ranjhaanaa, Shamitabh හින්දි චිත්‍රපටවලත් තමන්ගේ කෞෂල්‍ය පෙන්වලා සම්මානනීය ගමනක් පැමිණි ධනුෂ් දැන් හොලිවුඩයටත් පය තියන්න සූදානම්.

විචාරකයන් කැතයි කියලා හංවඩු ගහපු රූපයම තමන්ව ලස්සන කරගන්න යොදාගත්ත ධනුෂ් දැන් ඒ විචාරකයන්ගෙන්ම පැසසුම් ලබනවා.

රංගන ශිල්පියෙක්ට පෙනුම අවශ්‍යයි කියලා කිවුවොත් ඒ මතය වෙනස් කරන්න පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ධනුෂ්. ආරෝහ පරිණාහ දේහයක් නැති, අඩි හය පන්නපු උසක් නැති, ඉතා සරල ඇඳුමින් සැරසුණු, කොටින්ම සිහින කුමාරයෙක්ගේ කිසිම ලක්ෂණයක් නැති ධනුෂ් කොලිවුඩයේ රාජ කුමාරිකාවක් සරණ පාවාගෙන යුවරජෙක් විදිහට අභිෂේක ලැබුවා. රිදී තිරයේ බොහෝ වීරයන්ට නොලැබෙන පොදුජන ආකර්ෂණයක් ඔහු දිනාගත්තා. තමුන්ට කරන්න බැහැයි කියලා කවුරුහරි කිවුවොත් ඒ දේ අනිවාර්යයෙන්ම සාර්ථකව කරලා පෙන්වන්න. ඒ තමයි ඔවුන්ට දෙන්න පුළුවන් හොඳම පිළිතුර.

ෂෙනාල් ගුණසේකර

Rate this item
(2 votes)