April 24, 2024

කුසට අහරක් නැතිව, පාසල් ගමන නැවතුන අසරණවූ දරු පවුලක් (PHOTOS)

මෙම අසරණ පවුලට යම්කිසි කාගේ හෝ උදව්වක් ලබා දීමට හැකි නම් ඔවුන්ගේ දුරකථන අංකය 0712714724. ලිපිනය කේ, ජී. නිස්සංක කොඩිතුවක්කු අංක 155 සී. මිගහහෙන යටිගල්පොත්ත ,ගලේවෙල.ගිණුම් අංකය කේ, ජී. නිස්සංක කොඩිතුවක්කු 115 200 1000 37 224 මහජන බැංකුව ,ගලේවෙල ශාඛාව.

දරුණු පිළිකා රෝගයකින්  මව  ජීවිතයත් මරණයත් අතර රෝහලේ පොර බදිද්දී දරුවන් පස්දෙනෙකු ආහාර නොමැතිව පාසල් ගමන ද අතහැර දමා අසරණවී සිටින පුවතක් ගලේවෙල  මිගහහේන  ප්‍රදේශයෙන් වාර්තා වෙයි .

මිගහහේන  යටිගල්පොත්ත ගලේවෙල  යන ලිපිනයේ පදිංචි කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා තම පාසල් වියේ පසුවන දරුවන් පස්දෙනෙකු හදාවඩා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටීති . මෙම දරුවන්ගේ මව බරපතල පිළිකා රෝගියෙක් නිසා මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බව   කොඩිතුවක්කු මහතා කියයි.

සිය බිරිඳ අසනීප තත්වයෙන් සිටීම සහ දරුවන්ට ආහාර සොයා දීමට නොහැකි වීම දිනපතා සිය බිරිඳ බැලීම සඳහා මහනුවරට ගමන් කිරීම ආදී කරුණු කාරණා නිසා තම දරුවන් පස්දෙනාගේ පාසල් ගමන අතරමග නැවතුණු බව ඔහු කියයි.

නිසංක කොඩිතුවක්කු මහතාගේ බිරිඳ එම් .ජි . පද්මිණි (44) මහත්මිය මහනුවර  රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්වය බරපතල බව රෝහල් බලධාරීන් දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළේය.

මෙම පවුලේ වැඩිමහල් පුතා ක්‍රිශාන්ත මයෝද්   තවමත් දාසය හැවිරිදි වියේ පසුවන අතර ඔහු ද මේ වන සිය පියාට ශක්තියක් වෙමින් කුලී වැඩට යන බව කියයි.දිල්ෂා ශේවින්දි  තවමත් දාහතර වියේ පසුවන පාසල් සිසුවියකි .මනිෂා රසංගි දොළොස් හැවිරිදි වියේ පසුවන්නීය. කවිශ්ක මනෝජ් වයස අවුරුදු 10 ක පාසල් සිසුවෙකි. නිමේෂා මධුවන්ති ද වයස අවුරුදු 8 ක දැරියකි . මෙම සියලු දෙනාම පාසැල් වියේ පසු වීම විශේෂත්වයකි .

කැඩී ගිය සපත්තු පාසල් බෑග් පෙන්වමින් මෙම දරුවන් හඬා වැටෙන්නේ තමන්ට පාසල් උපකරණ නොමැතිකම නිසා නොව තමන්ගේ මෑණියන් බැලීමටවත් මහනුවරට යෑමට මුදලක් නොමැති කම නිසාවෙනි. මෙම දරුවන්ගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙන අයුරු එහි ගිය අපට ද දැක ගැනීමට හැකියාව ලැබිණි.

දිනකට එක වේලකින් සරිකරගන්නා මෙම පවුලේ අය විඳි දුක පිළිබඳව පියා වූ කේ .ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා මෙසේ පැවසීය.

"මම කුලී වැඩ කරලා තමයි මේ දරුවන් ජීවත් කරවන්නේ .මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා දැන් මාස දෙකකට ඉහතදී තමයි මගේ බිරිඳ ගෙ කකුල් දෙක රිදෙන්න ගත්තා බෙහෙත් ගත්තා හැම තැනින්ම දඹුල්ල රෝහලට අරන් ගියාට පස්සෙ එයාව පරීක්ෂණ වලට කියලා පොළොන්නරුව මහ රෝහලට මාරු කරලා යැව්වා. පස්සේ එතන දී වෛද්‍ය වාර්තා වලින් කිව්වා බඩේ පිළිකාවක් තියෙනවා කියල, නෝනා එහෙම්මම දඹුල්ල රෝහලට එව්වා දඹුල්ල රෝහලේ මහනුවර රෝහලට මාරු කරල   දැන් එයා ඉන්නේ ඔපරේෂන් එකක් කරලා දැඩිසත්කාර ඒකකයේ .

දොස්තර මහත්තයා කිව්වේ සියයට 85ක් 90ක් විතර පිළිකාව හොඳටම වර්ධනය වෙලා කියලා. මට හැමදාම එයාව බලන්න යන්න විදිහක් නෑ. කුලී වැඩක් කරන්න ඕන දරුවන්ට කන්න බොන්න දෙන්න එයා රෝහලට වෙලා අඬනවා බලන්න එන්නේ නෑ කියලා. මම දවස් දෙක තුනකට සැරයක් ගිහිල්ල බලල එනවා ".

"ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ මේ සැරේ පොත් පත් අරන් දෙන්න සපත්තු   දෙන්න විදියක් නෑ එයාල ගෙදර වැඩක් කරගෙන ඔක්කොමලා හැඬු කඳුළෙන් තමයි ඉන්නේ. රෑට කෑවොත් අපි දවල්ට කන්නේ නැහැ. දවසකට කොහොමහරි සම්බෝලයි බතුයි හරි දරුවන්ට කන්න දෙනවා එක වේලක්හරි .

ඉරිගිය ටකරන් කැබලි වලින් සිය නිවසේ වහලය හොවාගෙන සිටින මෙම පවුලේ උදවියට අඩුම තරමේ වැසිකිළි කැසිකිළි පහසුකම් හෝ නොමැති වීම එහි ගිය අපට දැක ගැනීමට හැකි විය .

සිය මව මරණයත් ජීවිතයත් අතර සටන් කරද්දී මෙම දරුවන් පස්දෙනා සහ සැමියා නිවසට වී මව ගැන හුලා ගැටෙමින් කුසගින්නේ සිටිති මෙම අසරණ පවුලට යම්කිසි කාගේ හෝ උදව්වක් ලබා දීමට හැකි නම් ඔවුන්ගේ දුරකථන අංකය 0712714724  ලිපිනය වන්නේ කේ, ජී. නිස්සංක කොඩිතුවක්කු අංක 155 සී. මිගහහෙන යටිගල්පොත්ත ,ගලේවෙල, ගිණුම් අංකය කේ, ජී. නිස්සංක කොඩිතුවක්කු   115 2000 37 224 මහජන බැංකුව ,ගලේවෙල ශාඛාව.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Friday, 11 January 2019 18:39