December 13, 2018

පොලිස් කොස්තාපල්වරයා කියා දුන් මනුස්සකම මෙන්න (PHOTOS)

පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ ගිය දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අසරණ වූ පියෙකු නහවා කවා පොවා රෝහල් ගත කිරීමේ සිද්ධියක් දඹුල්ල පොලිසියෙන් වාර්තා වෙයි.

දඹුල්ල පොලිසියේ හදිසි ඇමතුම් අංශය නියෝජනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු උවන 60342 එච්. එම්. සි . කේ. හේරත් මහතාට 50606 එම් .ඒ .සි .ඒකනායක  යන මහතාටත් 119 හදිසි පොලිස් ඇමතුම් අංශයෙන්  තොරතුරක් ලැබී තිබුනේ දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ වයෝවෘද්ධ පියෙකු  ප්‍රරධාන මාර්ගය අසල වැටී සිටින බවය. වහාම එම තොරතුරු පිළිබඳව සොයා බැලීම සඳහා යතුරුපැදියකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

ඒ යන විටත් වයෝවෘද්ධ පියෙකු  මාර්ගය අසල දින ගණනාවක් තිස්සේ ඉතාම අපිරිසිදු කැරගෙන අසාධ්‍ය තත්වයේ සිටිනු දැක තිබේ. මලමුත්‍ර එම ස්ථානයේම  පුරා වැතිරී  ගෙන සිටි මෙම පියා පිළිබඳව අවට ප්‍රදේශවාසීන්ද අත නො තබා ඇත්තේ එතරම් ම අපවිත්‍ර වූ නිසාය. ප්‍රදේශවාසීන්   පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දී ඇත්තේ ද  පිරිසුදු කරගැනීමට හෝ ළඟට කිට්ටු වීමට නොහැකි දුර්ගන්ධයක් හමන නිසාවෙන් බව පොලිසිය කියයි.

පසුව දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සිය රාජකාරිය ආරම්භ කළහ. ඔවුන් දෙදෙනා සිදුකළේ අසළ නිවසකට කතා කොට ඔවුන්ගෙන් දිය නෑමට හැකි ස්ථානය ඉල්ලාගෙන මෙම මහලු පියා රැගෙන ගොස් නාවා පිරිසිදු කොට ප්‍රදේශ  වාසීන්ගෙන් ඉල්ලා ගත් ඇඳුමක් අන්දවා ආහාර පාන ලබා දී දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීම ය.

පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටින සිටි  පී. එච්. කේ. ධර්මපාල නම් වූ මෙම පියාට සහෝදර සහෝදරියන් රැසක් සිටින බවත් එම සහෝදර සහෝදරියන් විසින් තමන්ව බාර නොගෙන මහ මගට ඇද දමා ඇතැයි පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

විවාහ නොවී සිටි මෙම ධර්මපාල නැමැති පියා තමන්ට ශක්තිය ඇති කාලයේ  තම සහෝදර සහෝදරියන් රැක බලා ගත් බව ඔහු කඳුළු සලමින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට පවසා තිබේ.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ නියම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ක්‍රියාව මෙම නිලධාරීන් දෙදෙනා ඉටුකළ බව ය. හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුර මත මෙම නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පිටත් කර යැවූ බවත් එහි සිට ඔවුන් තිදෙනා මෙම ක්‍රියා පිළිබඳව තමා ව දැනුවත් කළ බව ද පසුව එම පියාට අවශ්‍ය පිරිසුදු කිරීම් සිදුකොට රෝහල්ගත කරන ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළේය. මහලුව  වයසට යනවිට දෙමාපියන් සහෝදර සහෝදරියන් අසල්වැසියන් රට වැසියන් සියලු දෙනා එකතුවී වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවත් තවත් දින කිහිපයකින් ලෝක වැඩිහිටි දිනය සමරන්නට ඔන්න මෙන්න තිබියදී මෙවැනි සත්කාරයක් තම නිලධාරීන් සිදු කිරීම තමන් බෙහෙවින් සතුටට පත්වන බව ද මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(1 Vote)