April 19, 2024

කලාවැවේ වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමඟ බරපතල අලි ගැටුම් (PHOTOS)

September 21, 2018

කලාවැව හා බළලූ වැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමඟ වෙනත් වසරවලට වඩා ඔවුන් ඔවුන් අතර බරපතළ ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

ඒ අනුව කණ්ඩායම් පහකට බෙදී සිටින කලාවැව රක්ෂිතය සිටින වන අලින් සහ ඇතුන් අතර ඇතුන් ඇතුන්  සහ අලින් අලින් අතර බරපතළ ගැටුම් හටගෙන තිබේ.

උදේ දිවා දහවල් කාලයේ මේ  ගැටුම් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. වෙනත් වසරවල මෙතරම්ම වන අලින් අතර මද කිපුණු කාලයේ ගැටුම් ඇති නොවන බව පවසන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙවර පිරිමි සතුන් මෙන්ම කාන්තා සතුන් ද ගැටුම් වලට මැදිහත් වීම විශේෂත්වයක් බව ය.

කලාවැවේ   සිටින " ඇසළ" නමැති ඇතා තවත් අලින් දෙදෙනෙකු සමග දින කිහිපයක සිටම ගැටුමක් ඇති කරගෙන ඇති අතර "රේවත" නමින් හදුන්වන ඇතා ද තවත් ඇතෙකු සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. එමෙන්ම පසුගිය දිනවල අලියෙකු තම දළවලින් ඇණ ඝාතනය කර තිබූ දීඝජන්තු 2 ඇතා කලාවැව ප්‍රදේශයේ දින ගණනාවකින් දකින්නට නොමැති වීමද විශේෂත්වයකි.

වන අලි රංචු පහේම සද්දන්ත ම ඇතුන්ට මේ දිනවල කම්මුල් තෙමීම නොහොත් වසන්ත කාලය උදාවීමත් සමඟ මෙම ගැටුම් ඇතිවීම සහ කණ්ඩායම් 5 නිරන්තරයෙන්ම එකට එක්වී   ශක්තිමත් වූ අලින් තම වර්ගයා බෝ කිරීම සඳහා ගැහැණු සතුන්ට ශක්තිය පෙන්වීම මෙන්ම රැලේ  සිටින අනෙකුත් අලි ඇතුන්ට තම බලවත්කම පෙන්වීම මෙහි තවත් ලක්ෂණයකි.

එමෙන්ම ගැටුම්වලට මැදි නොවී කුඩා සතුන් බේරා ගැනීම සඳහා මව් ඇතින්නියන් දැඩි වෙහෙසක් දරන ආකාරය කුඩා පැටවුන් ගැටුම්වලින් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් ගන්නා සංවේදී දසුන් ද මේ දිනවල කලා වැව ඉස්මත්තේ දී දැක ගැනීමට හැකියාව තිබේ.

කලාවැව ඉස්මත්තේ සිටින ශක්තිමත් වන අලින් සහ ඇතුන් තම වර්ගයා බෝ කිරීම සඳහා මෙම ගැටුම් ඇතිකර ගැනීම සිදුවන බව ප්‍රදේශවාසීන් මෙන්ම වනජීවී නිලධාරීහු ද පවසති.

මේ දිනවල දිවා කාලයේ හෝ සවස් කාලයේ කලා වැව බලලු වැව ඉස්මත්තේ නිකරුනේ ගැවසීමෙන් වළකින ලෙසත් එමෙන්ම හරකුන්   එළුවන් වැවට මුදා හැරීම දර සෙවීමට ගමන් කිරීම ආදී සිදුනොකරන ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටිති.   වන අලි සහ ඇතුන් මේ දිනවල දැඩි කෝපයෙන් පසුවීම නිසා බරපතල අනතුරු වලට මුහුණ දිය හැකි බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)