March 29, 2024

දින විසි එකෙන් විසි එකට කවුරු හෝ මියයන ගමක්... දැනට 15ක් මියගිහින්....ගම්මුන් භීතියෙන්... දේවශාපයක්ලු... (PHOTOS)

September 19, 2018

එක් අයකු මිය ගොස් දින විසිඑකක් ගතවෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ ස්වාභාවික සිදුවීමක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මානයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්   පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පිහිටා තිබේ. ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික මියයෑම සිදුවෙන බවට තොරතුරු වාර්තා වෙයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන් කියා සිටියේ ගතවූ මාස කීපයෙ පමණක් හල්මිල්ලෑව ගම්මානයේ  එක අයකු මියගොස් දින විසිඑකක් ගතවෙද්දී තවත් අයකු ආකාරයට  මේ වන විට පහළොස් දෙනෙක් මියගොස් ඇති බව ය.

ගම්මුන් කියා සිටියේ තම මරණාධාර සමිතියෙ පවා මුදල් නොමැතිව මේ දිනවල කාගෙන් හෝ එකතුකරගෙන මියයන අය භූමදාන කටයුතු සිදුකරන බවය. එමෙන්ම ගම්මුන් දැඩි බියකින් පසුවන බවත් ඔවුහු පවසති.

 වසර ගණනාවකින් මෙම ගම්මානයට දිය පොදක් නොමැති වීම නිසා ඔවුහු බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති. කෙසේවෙතත් ගම්මුන් ගෙන් කොටසක් කියා සිටින්නේ තම ගම්මානයේ පාරම්පරිකව පවත්වාගෙන එන ගම්භාර දෙවියන්ට පුද සත්කාර නොකිරීම නිසා දේව ශාපයක් ගමට උදාවී ඇති බවය. තවත් සමහරුන් කියා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් තම ගම්මානයේ පිරිස මේ ආකාරයෙන් මිය යන්නට ඇති බවය.

ගලෙන්බිදුනුවැව හල්මිල්ලාව   ගම්මානයේ  සොහොන පෙන්වමින් අයෙකු කියා සිටියේ මෑතකදී මියගිය පහළොස් දෙනා   එක පෝලිමට වල දැමූ බවය .මේ වන විට අවසන් කෙනා  මිය ගොස් දින පහක් ගත වී සිටින නිසා ඊළඟ දින 21 ගතවෙද්දී සියලු දෙනාම දැඩි භීතියකින් පසු වන බව ඔවුහු පවසති.

ගම්මානේ පන්සලේ විහාරාධිපති මීගොඩ සංත සිරි හිමි කියා සිටියේ අස්වාභාවික මිය යෑම නිසා ගම්මානයේ ජනතාව මෙන්ම තමන් වහන්සේ ද දැඩි සංවේගයට පත්ව සිටින බවත් තමන් වහන්සේ පිරිත් සජ්ජායනා සිදුකිරීමට සහ දේව කන්නලව්වක් ගම තුළ ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව ය. එහෙත් ගම්මානයේ ජනතාවට මේ වන විට කිසිදු ආදායමක් නොමැති වීම නිසා බරපතල ප්‍රශ්නයකට මුහුණ පා සිටින බවද සඳහන් කළහ.

හල්මිල්ලාව ගම්මානයේ සියලුම ඇළ දොළ ගංගා සිදී ගොස් වසර ගණනාවක සිට උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි .මෙම ගම්මානයේ සිදුවෙන අස්වාභාවික මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව ඔවුහු පවසති. කෙසේ වෙතත් මේ පිළිබඳව කාගේ හෝ අවධානය යොමු කරන්නැයි ඔහු ඉල්ලීමක් කර සිටිති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)