April 19, 2024

විදේශිකයන්ගේ ජිවිත අනතුරේ දමා අලි පෙන්වන හැටි මෙන්න (PHOTOS)

September 07, 2018

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ  ප්‍රදේශයේ දිනපතාම පස්වරුව වන විට වනඅලින් පෙන්වීම සඳහා විදේශිකයන් රැගත් ජීප් රථ රැසක් දැඩි අනතුරුදායක ක්‍රියාවලියක නිරත වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ඉර අවරට යෑමත් සමගම දිගම්පතහ රක්ෂිතයේ  සිටින වන අලින් දිය සොයා ප්‍රධාන මාර්ගයෙන් රක්ෂිත ප්‍රදේශයට මාරුවීම සිදුකෙරෙන අතර මෙය වටහා ගත් බොහෝ විදේශීය සංචාරකයන්ට මගපෙන්වන්නන් මේ දිනවල එය රැකියාවක් ලෙස විදේශිකයන් ගෙන්වාගෙන වන අලින් ආසන්නයටම ගොස් ඡායාරූප ගැනීම වනඅලින් පෙන්වීම ඉතාමත් අනතුරුදායක ලෙස සිදු කරගෙන යති.

කිසිදු ආරක්ෂාවක් නොමැතිව සංචාරක මග පෙන්වන්නෝ වාහනවලින් බිමට බස්සව ගන්නා විදේශීය සංචාරකයන් වල් අලින් ආසන්නයටම ගොස් ඡායාරූප ගැනීම සිදුකරන අතර මාර්ගයෙන් පැනීමට ඉන්නා වන අලින්ට මාර්ගයෙන් පැනීමට ඉඩ නොදී ඔවුන්ගේ වාහන හරස් කොට පැය ගණනාවක් වනඅලින් ප්‍රධාන මාර්ගය ආසන්නයේ රඳවාගෙන සිටීම ද විශේෂත්වයකි.

දැඩි පරිශ්‍රමයක් යොදමින් වනඅලින් ප්‍රධාන මාර්ගය මාරුවී ජලය සොයා යන අතරමඟදී ද විදේශීය සංචාරකයන් පසුපස ලුහුබඳිමින් වන අලියාගේ ඡායාරූප ගැනීම සහ වන අලියා සමග ඔවුන්ගේ ඡායාරූප ගැනීම සිදුකරන ආකාරය ද ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ජාතික උද්‍යානයක හෝ අඩුම තරමේ ගමන්කරන වාහනයකින් බැසීමට වත් ඉඩ ලබා නොදෙන වකවානුවක විදේශීය සංචාරකයන් බිමට බස්සවා වන අලින් ආසන්නයටම කැඳවාගෙන යෑම තුළ සිදුවන්නේ මෙරටට විශාල අපකීර්තියක් මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නොසිතා රුපියල් සත පමණක් සිතා කටයුතු කිරීම බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

සීගිරිය වනජීවී කලාපයට අයත් මෙම ප්‍රදේශය වන අලින් විසිපහක් තිහක් පමණ අතර කණ්ඩායමක් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රදේශයකි.  දිගම්පතහ රක්ෂිතය දඹුල්ල මහනගර සබාවේ සහ  ප්‍රාදේශීය සභාවේ  අපද්‍රව්‍ය බැහැර ලන ස්ථානයද පිහිටා තිබේ.

එමෙන්ම මෙම ස්ථානයේම වාහන රැසකට වන අලි පහර දී දැඩි අලාභහානි සිදු කොට තිබෙන අතර පාරේ ගමන් ගත් පුද්ගලයන් රැසකගේ ජීවිත එම ස්ථානයේම අහිමි වීමද විශේෂත්වයකි. එවැනි වකවානුවක් පවතිද්දී වන අලින්ට හිරිහැර කරමින් ගමන බාධා කරමින් විදේශීය සංචාරකයන් වනඅලින් ළඟට කැඳවාගෙන ගොස් ඡායාරූප ගැනීමට ඉඩ සැලැස්වීම මෙරට සංචාරක කර්මාන්තයට බරපතළ හානියක් සිදුවිය හැකි යැයි ඔවුහු පෙන්වාදෙති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)