April 19, 2024

නිලධාරී මත ගැටුමෙන් සමෘද්ධිය වසර 4ක් තිස්සේ කප්පාදු කරලා - සමෘද්ධිලාභීන්ගේ දුක්බර කතාව (VIDEO)

September 04, 2018

සමෘද්ධි සංවර්ධන නිලධාරි වරයෙකුගේ මත ගැටුමක් හේතුවෙන් වසර හතරක පමණ කාලයක සිට රජයෙන් ලබාදෙන දිළිඳු සමෘද්ධි සහනාධාරය නොලැබුණු සමෘද්ධි ලාභියකු පිළිබඳව තොරතුරක් දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයෙන් වාර්තා විණි.

මෙසේ දැඩි අසාධාරණයට ලක්ව ඇත්තේ පී. එච්. විජයපාල නම් වූ තිදරු පියකු ටය. කණ්ඩලම වේල්ල කටුපොත   ඇරෑවුල යන ලිපිනයේ පදිංචිව සිටින ඒ මහතා තම දුක්ගැනවිල්ල පිළිබඳව බලධාරීන් වෙත ලිඛිතව සහ වාචිකව දැනුම් දුන්නද මෙතෙක් තමන්ගේ සමෘද්ධි සහනාධාරය ලබා ගැනීමට නොහැකිව ඉතා අසරණව සිටින බව පවසයි.

ඔවුන් පදිංචිව සිටින නිවස පවා මේ වන විට දිරාපත්ව කඩාවැටීමට ආසන්න ව පවතින බවත්  කුලී වැඩක් සහ ගොවිතැනක් කරගෙන ජීවත්වන තමන්ට සමෘද්ධි සංවර්ධන නිලධාරි වරයා සමග ඇතිවූ කතාබහක් නිසා තම සමෘද්ධි බැංකුවෙන් ලබා දී ඇති පාස්පොත අතුරුදන් කිරීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇතැයි හෙතෙම සඳහන් කර සිටී.

2015 වසරේ තමන් රුපියල් 30000 ණය මුදලක් ලබාගෙන ගොවිතැන් සඳහා වතුර  ගහන  යන්ත්‍රයක් ලබාගෙන එම ණය මුදල එක් වාරිකයන් ගෙවා ගැනීමට නොහැකිව සිටියදී එවකට වසම  භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි වරයා තම වතුර මැෂින් එක රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර කතාබහක් ඇති වූ බව කියයි.

පසුව තමන්ට හිමි සමෘද්ධි සහනාධාර ආධාරය ලැබෙන පාස්පොත දඹුල්ල කණ්ඩලම බැංකු ශාඛාවට ගොස් එම ස්ථානයේ සේවය කරන නිලධාරියෙකුට ලබාදී එහි ශේෂය පරීක්ෂා කර  ණය මුදල කපා   කපා ගන්නා ලෙස දැනුම්   දුන් බවත් හෙතෙම සඳහන් කළේය.   එදා සිට තම   පාස්පොත බැංකුවෙන් අතුරුදන්වී  ඇති  බව පවසමින් මේ වනතුරුත් තමන්ට හිමි සමෘද්ධි දීමනාව ලබා ගැනීමට නොහැකිව සිටින බව හෙතෙම සඳහන් කළේ ය.

තමන් මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ සමෘද්ධි අංශ ප්‍රධානීන්ට ලිඛිතව ලබා දුන්නද මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබුණු බව කියයි.

 විජයපාල නම්වූ සමෘද්ධි ලාභියාගේ නගන චෝදනා පිළිබඳව සත්‍ය අසත්‍ය සොයා ඒ මහතා ද සමඟ අප කණ්ඩලම සමෘද්ධි බැංකු සංගමය (03) දින පෙරවරුවේ ගියෙමු.

පසුව එහි කළමනාකරු නන්දන එදිරිසිංහ මහතා එමෙන්ම ගිණුම් නිලධාරි ටී. ජී. නවරත්න මහතාත් සිටි අතර සමෘද්ධිලාභී   විජේපාල මහතා කියා සිටියේ ගිණුම් නිලධාරි නවරත්න මහතා තම බැංකු පොත ලබා ගත් බවය. එහෙත් නවරත්න මහතා සිනහසෙමින් කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව මතකයක් නොමැති බවය. කෙසේවෙතත් තමන් ඒ පිළිබඳව විමසීමේ දී ගිණුම් නිලධාරි නවරත්න මහතා තමන්ට බැණ එළවා ගත් බවද හෙතෙම බැංකු සංගමය තුළ සඳහන් කළේය. නවරත්න මහතා එයද ප්‍රතික්ෂේප කරන්නට විය .කෙසේ වෙතත් දිගින් දිගටම සමෘද්ධිලාභි තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව බැංකු ශාඛාව තුලදී දැඩි වේදනාවෙන් යුතුව නිලධාරීන් ඉදිරියේ කියා පෑම ද විශේෂත්වයකි.

බැංකු කළමනාකරු නන්දන එදිරිසිංහ මහතා කියා සිටියේ පාස් පොත නැවත ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් ලබා දෙන ලෙසත් එසේ ලබා දීම සිදු කළහොත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට හැකි බවය. කෙසේවෙතත් වසර 4ක පමණ කාලයක් මාසික සමෘද්ධි දීමනාව අහිමි වීම මෙන්ම එම මුදල් ඔහුට හිමි වී ඇත්දැයි යන්න මෙතෙක් බැංකු මගින් සොයා බැලීමක් සිදු කළේද යන්න අප කළ විමසීමේදී ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබිණි.

නිළධාරියෙකු සමඟ පැවති ආරවුලක් නිසා මේ තත්ත්වය උදා වී ඇති බව බැංකු කළමනාකාරවරයා එහිදී සඳහන් කළේය.

කෙසේවෙතත් සමෘද්ධි සහනාධාර ලාභියා අප සමග කියා සිටියේ තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව මෙතෙක් කිසිදු අයෙකුගේ අවධානයක් යොමු නොවීම නිසා තමන් දැඩි අසරණ තාවයකට පත්ව සිටින බවය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 September 2018 12:03