April 23, 2024

එළුවන් මරා කන උතුරේ බලු කල්ලිය (PHOTOS)

කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඩාවතේ යන සුනඛයින් විසින් එළු පට්ටි වෙතට කඩා පැන එළුවන් ඝාතනය කොට ආහාරයට ගැනීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවට එම වැසියන් කියා සිටිති.

කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොරක්කන්කාඩු ප්‍රදේශයේ එළුවන්ට මෙම සුනක අවධානම ඇතිව තිබෙන අතර ඊයේ (12) දිනය තුල පමණක් එළුවන් 09 දෙනෙකු සුනකයින් විසින් මරා දමා ඇති බවට එම වැසියන් කියා සිටිති.

මීට පෙර දිනයන්හීදීද අදාල ප්‍රදේශයේ එළුවන් 40 දෙනෙකු පමණ සුනකයින් විසින් මරා දමා කෑමට ගෙන ඇති බැවින් අදාල දඩාවතේ යන සුනකයින් ඇල්ලීමට ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ගම්වාසීන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සුනකයින් විසින් එළුවන් කා දැමීම හේතුවෙන් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් වටිනාකමකින් යුතු එළුවන් තමන්ට අහිමි වී ඇති බවට එළුවන් භාර හිමියන් කියා සිටිති.

මේ හේතුව නිසා ගම්මානයේ සියලුම එළුවන් විනාශ වී යාමේ අවධානමක් පවතින බැවින් වනජීවි නිලධාරීන් හෝ මැදිහත් වී දඩාවතේ යන සුනකයින් අල්ලීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසට එම ගම්වාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)