April 19, 2024

පොල් කඩා දරුවන් නව දෙනෙකු සහ ආදරණීය බිරිද ජීවත් කරන අපූරු පියා

පොල් කඩා දරුවන් නව දෙනෙකු සහ ආදරණීය බිරිද ජීවත් කරන අපූරු පියෙකු ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ දී අපට හමු විණි.

දරුවන් දස දෙනෙකු මෙලොවට දායාද කොට අගහිගකම් වලින් පිරි සතුටෙන් පිරුණු මෙම අපූරු ආදර්ශමත් පවුල පිළිබඳ තොරතුරු සොයා අප ගියෙමු.

ගලේවෙල දඹගස්හේන යටිගල්පොත්ත යන ලිපිනයේ පදිංචිව සිටින ප්‍රියන්ත  වීරක්කොඩි  ( 37) මහතා සහ  ගයානි නිරෝෂනි  දසනායක (37) යුවලට දරුවන් දස දෙනෙකු ලැබී ඇත. එයින් එක් දරුවෙකු හදිසියේ මියගිය බව ඔවුන් කියති. දැනට නිවසේ පාසල් යන වයසේ දරුවන් අට දෙනෙකු සිටින අතර එක් දියණියක් වෙනත් ප්‍රදේශයක ළමා නිවාසයක දිවිගෙවන බව එම දෙමාපියෝ පවසති.එසේ ළමානිවාසයක සිටවා ඇත්තේ නවදෙනකු එකට සිටීම සුදුසු නොවන නිසා බව කියති .

 ප්‍රියන්ත  වීරක්කොඩි මහතා මෙම දරුවන් ජීවත් කරනු ලබන්නේ පොල් කඩන  රැකියාවෙනි. අඩුපාඩු කම් වලින් අනූන මෙම පවුලේ උදවිය දිනකට එක් වේලක් ආහාර  ගනිමින් දරුවන් පෝෂණය කරති. එහෙත් මෙම නිවසේ සතුට පිරී ඉතිරී ඇති බව මෙම දෙමව්පියෝ පවසති.

වැඩි මහලු පුතා වයස අවුරුදු 13 කි .බාලම දියණියට වයස අවුරුදු හතරකි. දරුවන් සියලු දෙනාම පාසල් සහ පෙරපාසල් යන්නේ දැඩි අපහසුතා මධ්‍යයේය . එමෙන්ම දියණියන්ට සහ මවට අඩුම තරමේ කනේ කරාබුවක් වත් නොමැත.

මෙම නිවසට අප යන අවස්ථා   උදෑසන ආහාරය ලෙස ලබාගෙන තිබුනේ රාත්‍රියේ ඉතිරි වූ බත් වීම තවත් විශේෂත්වයකි.

මෙම අපූරු  සැමියා  මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම බිරිඳ කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක වූ අතර දෙදෙනාගේ ආදර සම්බන්ධතාවයකින් ඇරඹි යුගදිවිය තැන තැන නිවෙස් වල රැඳී සිටිමින් දිවි ගෙවා තිබේ. පසුව ගලේවෙල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණ බිරිඳ ඉතිරි කරගත් මුදල් කොටසකින් කොටසක් ගෙවා කුඩා ඉඩම් කැබැල්ලක් ඔවුන්ටම කියා ලබාගෙන ඇත. එහි ඉඩම  ලබා ගන්නා විට අඩක් නිමවූ නිවසක් සහ පැරණි දිරාපත් වූ නිවසක් තිබී ඇත. ඔවුන් එම නිවසේ දැනට ජීවත් වේ.

ප්‍රදේශයේ කොහේ හෝ ඇවිද යමින් පොල් ගස් නැග එයින් ලැබෙන ආදායමෙන් මෙම දරුපවුල ජීවත් කරන   වීරක්කොඩි අනේක දුක් විඳින පියෙකි . ඔහුගේ දෑත් වල සහ දෙපා වල ඇත්තේ පොල් ගස්වලින් මැදුනු   රළු වූ අත් පා වීම සුවිශේෂී වූ දසුනකි.

මෙම පියාගේ සහ මවගේ එකම බලාපොරොත්තුව දරුවන්ට නිසි ලෙස ඉගැන්වීම ය. එමෙන්ම දරුවන්ට ආරක්ෂිතව නිවසක් තනා ගැනීමය. එමෙන්ම බිරිඳට දැනට රුධිර පීඩනය රෝගී තත්ත්වයකින් පෙළෙන නිසා වීරක්කොඩි අසනීප වූ බිරිඳට ද උවටැන් කරමින් දරුවන් ආරක්ෂා කිරීම සිදු කරනු ලබයි.

කවුරුන් හෝ ලබාදෙන ඇඳුමකින් දරුවන්ව සරසවනු ලබයි .මේ දෙන්නා    අසීරුතාවයකට පත්ව ඇත්තේ ආර්ථික අර්බුදය නිසාවෙනි. එහෙත් දරුවන්ට ඉතා හොඳින් ඉගෙන ගැනීමට හැකි බව ඔවුහු අප සමග පැවසූහ.

 මෙම කුඩා දරුවන්ට කුමන හෝ ආධාරයක් උපකාරයක් කිරීමට යම් කිසි කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පිනක් වෙයි.

මේ පිරිසට උදව්වක් කරන්නේනම් .ලංකා බැංකුවේ ගලේවෙල ශාකාවේ ගයානි නිරෝෂනි දසනායක නමින් ගිණුම් අංක 75889153 බැර කල හැකි අතර ඔවුන් සම්බන්ධ කර ගැනීමට 076 40 20 275 අංකයෙන් හැකිය .

 

Rate this item
(0 votes)