April 19, 2024

මැරෙන්න ගිය මුවෙකුට යුද හමුදාව කළ උතුම් වැඩේ

මුලතිව් ආරක්සක සේනා මූලස්ථානයට අයත් ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ආසන්නයේ කැලයක අනතුරක් හේතුවෙන් කෑගසමින් සිටි මුවෙකු බේරා වනජීවි නිලධාරීන් වෙතට භාර දීමට යුද හමුදා සෙබලුන් පිරිසක් ඊයේ (31) රාත්‍රිෙය් පියවර ගනු ලැබීය.

මුලතිව් ප්‍රධාන මාර්ගයේදී අදාල මුවා වාහනයකට වැදී මුවාගේ කොන්ද ප්‍රදේශයට තුවාල සිදුවීමෙන් ඇවිද ගත නොහැකිව කෑගසමින් සිටින අවස්ථාවේදී අසල පිහිටි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙන් සෙබලුන් පිරිසකට ඇසී එම සෙබලුන් විසින් සිදු කරන ලද පරික්ෂාවකදී මුවා කැලෑවේ තුවාල වී වැටී සිටින අයුරු දැක ගැනීමට හැකිව ඇත.

අනතුරුව ඒ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව්. රාජගුරු මහතාට දැනුම් දීමෙන් පසුව අඥාපතිතුමන් විසින් ඒ බව මුලතිව් වනජීවි නිලධාරීන් දැනුවත් කරනු ලැබීය.

පසුව කිලිනොච්චිය වනජීවි සහකාර කාර්යාලයේ සේවයේ නිරත කේ.ඩී.ජී. වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිසක් පැමිණ මුවාට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා පසුවෛද්‍ය කාර්යාලය වෙතට රැගෙන යන ලදි.

පසු වෛද්‍ය කාර්යාලයට මුවා රැගෙන යාමෙන් පසුව තුවාලවලට අවශ්‍ය ප්‍රතිකාර කළ අතර මුවා වයස අවුරුදු  10-12 අතර වසසක් ඇති අයෙකු බවටත් මුවාගේ ජීවිතයට හානියක් නොමැති බවටත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)