April 25, 2024

පාරම්පරික හෙළ වෙදකම ඉගෙන ගැනීමට එංගලන්තයේ සිසු පිරිසක් ලංකාවට (PHOTOS)

ලොව මවිත කළ පාරම්පරික හොරිවිල හෙළ වෙදකම පිළිබඳව ඉගෙන ගැනීම සඳහා සහ  ගස් වැල් වල කොළ පොතු මුල් මල් වලින් විශ්මිත හෙළ ඔසු සාදා රෝග නිවාරණය කරන ආකාරය පිළිබඳව දැනගැනීම සදහා එංගලන්තයේ ජාතික වෛද්‍ය සිසු වූ පිරිසක් මේ දිනවල පලුගස්වැව හොරිවිල පාරම්පරික වෙද ගෙදරට පැමිණ සිටිති.

පාරම්පරික හොරිවිල හෙළ වෙද ගෙදර පාරම්පරික වෛද්‍ය සෙනවිරත්න මහතා ඇතුළු පාරම්පරික හොරිවිල හෙලවෙද ගෙදර සේවක සේවිකාවෝ මෙම එංගලන්ත ජාතික තරුණියන් හට  වෙදකම සිදුකෙරෙන ආකාරය කියාදෙන්නට වූහ.

දේශීය කැඩුම් බිඳුම් පිළිබඳව පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳව මෙම කණ්ඩායම විශ්මය පළ කරන්නට  එමෙන්ම ගස්වල පොතු කොළ මල් කපන කොටන තෙල් හිදින ආකාරයත් එමෙන්ම ඒවා සිදුකෙරෙන ආකාරයට අත්විදින්නට ද  එංගලන්ත ජාතික  තරුණියන් අමතක නොකළහ.

පාරම්පරික වෛද්‍ය ශාන්ත සෙනෙවිරත්න මහතා මෙහිදී කියා සිටියේ හොරිවිල වෙද පරම්පරාව අනාදිමත් කාලයක සිට පැවත එන්නක් බවත් පුස්කොල උපයෝගයෙන් විවිධ ලෙඩ රෝග සඳහා ඖෂධ සොයා ගන්නා බවත් බොහෝ ඖෂධ  වල විස්තර  ලිඛිතව  නොමැති නිසා ඒවා මුඛ පරම්පරාවෙන් පරම්පරාවට පැවත යන බවය. එමෙන්ම මේ දිනවල වැඩි වශයෙන් රටේ ලෝකයේ ජනතාවට වැළඳෙන බෝ නොවන රෝග රැසක් සඳහා තමන් දේශීය ඖෂධ සොයාගෙන ඇති බව සඳහන් කළේය.

 එනම් කොදුව අමාරුව බෙල්ලේ අමාරුව අතපය හිරිවැටීම දණිස් අමාරුව ඇටමිදුලු දිරායෑම ආදී රෝග රැසකට බටහිර වෛද්‍ය විද්‍යාවට පවා සුව කර ගැනීමට නොහැකි අස්ථි රෝග සඳහා  දේශීය කොළ පොතු වලින් ප්‍රතිකාර කිරීමට හැකිබව ශාන්ත සෙනෙවිරත්න මහතා මෙහිදී මෙම සිසුනට පෙන්වා දුන්නේය.

දින කිහිපයක්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හොරිවිල පාරම්පරික ගම්මානේ පිහිටි හොරිවිල හෙලවෙද ගෙදර මෙම පිරිස රැඳී සිටිමින් දේශීය පාරම්පරික වෙදකම ගැන ඉගෙන ගන්නට විය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)