April 24, 2024

අගහිඟකම් නිසා අසරණ වුණු දඹුල්ලේ බේස්බෝල් කණ්ඩායම (PHOTOS)

ශ්‍රී ලංකා බේස්බෝල්  කණ්ඩායම සඳහා දඹුල්ල වෑවලවැව දුෂ්කර පාසලක දරුවන් අටදෙනකු තේරී පත්වී තිබෙන බවත්  මෙම අට දෙනා ජපානයේ සහ තායිවානයේ පැවැත්වෙන ලෝක බේස්බෝල් තරග දෙකකට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටින බවත් එසේ සිදුව ඇත්තේ ගුවන් ටිකට් පත් ලබාගැනීමට එම දෙමව්පියන්ට නොහැකි වීම බව විද්‍යාලයේ විදුහල්පති වරයා පවසයි.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි අතිදුෂ්කර ම වූ වෑවලවැව මහා විද්‍යාලයේ වයස අවුරුදු 18න් පහළ සහ වයස අවුරුදු 12 න් පහළ දරුවන් අට දෙනෙකු ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් තෝරාගෙනතිබේ .

  බේස්බෝල් ජාතික කණ්ඩායම නියෝජනය කරන අනෙකුත් ක්‍රීඩකයින් දිවයිනේ විශේෂයෙන් කොළඹ සහ මහනුවර ගාල්ල ආදී ප්‍රදේශවල ප්‍රධාන පෙලේ පාසැල් වලින්  තෝරාගෙන ඇති බවත් දඹුල්ල වෑවලවැව වැනි අතිදුෂ්කර කෘෂිකාර්මික ප්‍රදේශයක පිහිටි පාසලක දරුවන් අට දෙනෙකු ජාතික කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක් බව විදුහල්පති වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

වයස අවුරුදු 18න් පහළ ජාතික කණ්ඩායමේ 12 වන  ආසියානු කුසලාන තරගය  සඳහා ජූලි 31 වන දින ජපානය බලා පිටත්ව යෑමට නියමිත බවත් වයස අවුරුදු 12 න් පහළ කණ්ඩායම දහවන ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලිය සඳහා අගෝස්තු 13 වන දින තායිවානය බලා පිටත්වීමට යෑමට නියමිත බව විද්‍යාලයේ විදුහල්පති විජිත කුමාර දිසානායක මහතා පැවසීය.

මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට අවශ්‍ය ගුවන් ටිකට් පත් හා අනෙකුත් වියදම් දැරීම දෙමව්පියන්ට අපහසු කාර්යයක් බවට පත් වී ඇති බවත් මෙම දරුවන්ගේ දෙමව්පියන් සියල්ලම පාහේ ගොවිතැනින් කුලී  වැඩ කර ජීවත්වන පිරිසක් බව විදුහල්පතිවරයා සඳහන් කළේය.  ගුවන් ටිකට් පත් සඳහා මුදල් සොයා ගැනීම දුෂ්කරතා නිසා මෙම ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක පැවතීම විශේෂත්වයකි.

 දක්ෂතා ඇති දරුවන් අට දෙනා සොයා අති දුෂ්කර ගමනක අප ද නිරත වුණේමු  එහිදී  වෑවලවැව විද්‍යාලයේබේස් බෝල්  පුහුණු උපදේශක සංජීව ජයරත්න මහතා රළු බොරළු පිට්ටනියක මෙම දරුවන්ට පුරුදු පුහුණු කරනු ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි. බොහෝ දරුවන්ට හරිහමන් ආහාර වේලක් හෝ  ක්‍රිඩා පහසුකම් උපකරණ නොමැතිව පුහුණුවීම් සිදු කරන ආකාරයත් එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

දෙමව්පියන් කුලීවැඩ කරමින් මෙම දරුවන් ජීවත් කරවීම විශේෂත්වයකි. එම නිවෙස් කිහිපයකටද ගමන් කිරීමට අපට හැකියාව ලැබිණි.ජාතික  ශූරයන් බවට පත්ව සිටින මෙම දරුවන් කටුමැටි ගැසූ නිවෙස් වල කුලී වැඩ කරන දෙමව්පියන්ගේ දරුවන් බව එහිදී අවබෝධ විණි. බොහෝ දෙමව්පියන් හරිහමන් අධ්‍යාපනයක් හෝ නොමැති බව දෙමව්පියෝ පවසති.

දෛනික කුලී වැඩක් හෝ නොමැතිව තම දරුවන්ට ගුවන් ටිකට් පත් ලබාදීම සඳහා හැකියාවක් නොමැති බව පවසමින් එම දෙමාපියෝ හඬා වැටීම ද විශේෂත්වයකි.   තමන් අඩුම තරමේ රූපවාහිනියකින් හැර ගුවන්යානාවක් ළඟට හෝ ගොස් නොදැකපු බවද දෙමව්පියෝ අප සමඟ පැවසූහ.

බේස්බෝල් තරගාවලියේ ආසියානු කුසලානය සඳහා තරග වදින වයස 18 න් පහළ කණ්ඩායමේ දරුවන් හතර දෙනෙකු එමෙන්ම වයස අවුරුදු 12 න් පහළ කණ්ඩායමේ දරුවන් හතර දෙනෙකු වෑවලවැව නම් දුෂ්කර ගම්මානයේ පාසැලින් තෝරාගැනීමද විශේෂත්වයක් බව එහි පුහුණුකරු සංජීව ජයරත්න මහතා අප සමග පැවසීය. කෙසේවෙතත් මෙම දරුවන් සඳහා ගුවන් ටිකට් පත් හැර  අනෙකුත් ආහාර නවාතැන්  සියලු පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදෙන බව විදුහල්පති විජිත කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

තායිවානය සංචාරය සඳහා එක් සිසුවෙකුට ගුවන් ටිකට් පතකට යාමට   සහ ඒමට රුපියල් හැටඅට දහසක මුදලක් අවශ්‍ය බවත් ජපානය සදහා තරගයට යන එක දරුවෙකුට යෑමට ඒමට ගුවන් ටිකට් පත සඳහා රුපියල් එක් ලක්ෂ තිස් දහසක මුදලක් අවශ්‍ය වන බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එවැනි අති විශාල මුදලක් දෙමව්පියන්ට දරාගැනීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

2013 වසරේ වෑවලවැව නම් වූ දුෂ්කර පාසලේ  බේස්බෝල් ක්‍රීඩාව ආරම්භ කෙරිණි. එදා සිට 2018 වසර දක්වා දිවයිනේ සමස්ත ලංකා ශූරතාව අනුශුරතාවය දිගටම පවත්වාගෙන ඒමට ද මෙම විද්‍යාලයේ ක්‍රීඩකයින්ට හැකිවීම තවත් සුවිශේෂී වූ කරුණකි.

වයස අවුරුදු 18න් පහළ  ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 18 දෙනෙකු දිවයිනේ සියලු පාසල් නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් පැවැත්වූ තණග විභාගයකදී තෝරාගෙන තිබේ.  18 දෙනාගෙන් හතර දෙනකු වෑවලවැව විද්‍යාලයෙන්  තේරී  තිබෙන බවත් වයස අවුරුදු දොළහෙන් පහල     කණ්ඩායමේ පහලොස් දෙනෙකු තෝරාගෙන ඇති බවත් එයින් ක්‍රීඩකයන් හතර දෙනෙකුම තම විද්‍යාලයෙන් බිහි වීම විශේෂත්වයක් බව පුහුණුකරු සංජීව ජයරත්න මහතා ආඩම්බරයෙන් සඳහන් කළේය.

මෙම දරුවන්ගේ එකම සිහිනය බවට පත්ව ඇත්තේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම බවත් එම සිහිනය දරුවන් අට දෙනෙකු සැබෑ කරගත් බවත් එහෙත් තම දෙමව්පියන්ට මුදල් නොමැතිවීම නිසා   ආසියානු කුසලානය සඳහා ජූලි 31 වන දින ජපානය බලා පිටත්ව යෑම එමෙන්ම ආසියානු කුසලාන බේස් බෝල් තරගවලියේ වයස අවුරුදු 12 න් පහළ කණ්ඩායම තායිවානය බලා පිටත්ව යෑම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව  ලොව  දිනූ  ගම්බද මෙම ක්‍රීඩකයෝ හඬා වැටෙමින් පැවසූහ.

අති දුෂ්කර   ප්‍රදේශයේ ගමේ වැව්වල දියනාමින් මසුන් අල්ලමින් ගහේ  වැවේ දියනාමින් වැලේ  ගහේ ගෙඩි කොළ කමින් හරිහමන් ලෙස ආහාරයක් නොමැතිව  දැඩි අපහසුතා මධ්‍යයේ ජීවත්වන දරුවන් බව දෙමව්පියෝ හඬා වැටෙමින් පැවසූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරන බේස්බෝල් ජාතික කණ්ඩායමට කුලී කම්කරු දෙමව්පියන්ගේ දරුවන් අට දෙනෙකු ජපානයට සහ තායිවානයට ගමන් කිරීමට  ගුවන් ටිකට්පත් ලබාදීමට කවුරුන් හෝ දානපතියකු ඉදිරිපත් වන්නේ නම් එය මහඟු කාර්යයක් බව විද්‍යාලයේ ගුරුවරුන් පැවසූහ.

එවැනි ආධාරයක් කිරීමට කිසිවෙකු හෝ සිටින්නේ නම් විදුහල්පති  විජිත කුමාර දිසානායක 0713395937 හා පුහුණුකරු සංජීව ජයරත්න 071 249 5500 දෙදෙනා ගේ දුරකථන අංක වලින් සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබේ .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)