April 20, 2018

යතුරු සිදුරු සැත්කම් ක්‍රමය මගින් කළ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථකයි (PHOTOS)

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුල පළමු වරට නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් කැමරාවක් ආධාරයෙන් සිදු කරණ යතුරු සිදුරු සැත්කම් ක්‍රමය ( laparoscopic surgery ) යොදා ගන්නා බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිර වාහිනි හා අවයව බද්ධ කිරිම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි.

යතුරු සිදුරු සැත්කම් මගින් වකුගඩුව ලබා දෙන දායකයාගෙන් වකුගඩුව ලබා ගන්නා බවත් මේ වනවිට මෙවැනි සැත්කම් තුනක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය තුල සිදු කොට ඇති බවද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සදහන් කළේය.

ඔහු මෙකි නවීන තාක්ෂණික සැත්කම් ක්‍රමය පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.

“වකුගඩුව ලබා දෙන දායකයා තමයි මෙම සැත්කම් ක්‍රමයට භාජනය කරන්නේ. මිට පෙර උදරය විවෘත කරලා විවෘත සැත්කමක් මගින් තමයි වකුගඩුව දායකයාගෙන් බද්ධ කිරිම සදහා ලබා ගත්තේ. නමුත් මෙම සැත්කම් කරණ විට දායකයාගේ උදරය විවෘත කරන්නේ නැහැ. නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් උදරයට පහලින් අගල් තුනක හතරක පමණ කැපුම් හතරක් යොදා ගෙන තමයි යතුරු සිදුරු සැත්කම කරන්නේ. ඒ සදහා විඩියෝ කැමරාවක් ආධාර කර ගන්නවා. ඉතා සුක්ෂම අයුරින් තමයි මෙම සැත්කම කරන්න ඕන. අගල් තුනක පමණ කැපුමකින් තමයි තමයි වකුගඩුව එලියට ගන්නේ. මෙකී සැත්කම මගින් වකුගඩුව ලබා ගන්නවා විට වකුගඩුව පරිත්‍යාග කරණ පුද්ගලයාට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඇතිවන කැක්කුම ද අඩුයි.රුධිරය වහනය විමත් අඩුයි. ඒ විතරක් නෙවෙයි වකුගඩුව පරිත්‍යාග කරණ පරිත්‍යාගශිලියාට දිනකින් දෙකකින් නිවසට යන්න පුළුවන්.”

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුල මේ වනවිට රංජුක උඹේසිරි වෛද්‍යතුමන් විසින් වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් 80ක් පමණ සිදුකොට තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහල තුල වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් ආරම්භ කරණු ලැබුවේ මිට වසර තුනකට පමණ ඉහතදිය. මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුල වකුගඩු බද්ධ කිරිමේ කටයුතු ඉතා සාර්ථකව සිදු වේ.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)