දඹුල්ල කැකිරාව ප්රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල ප්රදේශයේදී ඊයේ (03) රාත්රියේ සුඛෝපභෝගී බස් රථයකට වන අලි රෑනක් හැපීමෙන් එහි රියදුරු බරපතළ තුවාල ලබා මගීහු හය දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් වේගයෙන් ධාවනය වෙමින් තිබියදී කැකිරාව කොරසගල්ල ප්රදේශයේදී එක වරම වන අලින් පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්රධාන මාර්ගය මාරු වෙමින් තිබියදී මෙම අනතුර රාත්රී නමයට පමණ මෙම අනතුර සිදුව තිබේ.
ප්රදේශවාසීන් කියාසිටියේ මෙම ස්ථානයේ නිරන්තරයෙන් වනඅලින් ප්රධාන මාර්ගය හරහා ගමන් කරන බවය. කලාවැවේ ඉස්මත්තේ සිටින වන අලින් මෙයාකාරයෙන් ගම් වැදීමේ දී ප්රධාන මාර්ගය හරහා ගමන් කරන බව ඔවුහු කියති.
වන අලින් ප්රධාන මාර්ගය මාරුවෙද්දී මාර්ගයේ ගමන් කරමින් තිබූ අනෙකුත් වාහන මඳක් දුරින් නවතා තිබියදී වේගයෙන් පැමිණි මෙම මගීන් ප්රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථය වේගයෙන් පැමිණ වනඅලින් කිහිප දෙනෙකුගේ හැපී තිබේ. අනතුරින් පසුව බස් රථය පැදවූ රියදුරු රිය අසුනේම සිරවී සිටියදී විනාඩි 35 ක පමණ කාලයක් ප්රදේශවාසීහු දැඩි පරිශ්රමයක් යොදා සිරවී සිටි ඔහු එළියට ගෙන කැකිරාව රෝහලට රැගෙන ගිය බව ඔවුහු පවසති.
බස් රථයේ කොන්දොස්තරවරයා කියා සිටියේ ඒක වැරම වන අලින් පහළොවකට අධික කණ්ඩායමක් ප්රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවන ආකාරය ඔහු දුටු බවය. වසර කිහිපයක කාලයක් මෙම මාර්ගයේ තමන් සේවය සිදුකළ ද මෙවැනි වන අලි කණ්ඩායමක් දැක හෝ වන අලි ප්රහාරයකට ලක්ව නොමැති බවත් සඳහන් කර සිටියේය.
සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි ප්රදේශවාසීහු කියා සිටියේ ගොයම් අස්වැන්න නෙලීම ආරම්භයත් සමඟ කලාවැව වැව්තාවුල්ලේ සිටින වන අලි ගම් වැදීම සිදු වන බව ය. මේ දිනවල බොහෝ ගොවීන් සිය අස්වැන්න නෙළාගෙන නිවසට ගමන් කිරීම ආරම්භ කර ඇති බවත් ඒ අතරතුරදී වන අලි ගම් වැදීම සිදු වන බව ය.
කැකිරාව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු රාත්රී කාලයේ ම එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණු අතර පොලිසිය සඳහන් කර සිටීයේ මෙම වන අලි රෑන නිරන්තරයෙන්ම මාර්ගය හරහා ගම්මානයට කඩා පැනීමත් නැවතත් අලුයම් කාලයේ ගම්මානේ සිට කලා වැව වැව් තාවුල්ලට මාර්ගය හරහා ගමන් කරන බවය.
බොහෝ අවස්ථාවන්හිදී පොලිසිය මැදිහත්ව ප්රධාන මාර්ගයේ ගමන් කරමින් තිබෙන වාහන නවතා වන අලින්ට මාර්ගය හරහා ගමන් කිරීමට අවස්ථාව උදාකර දෙන බවද පොලීසිය සඳහන් කර සිටියේය.
වෙනත් දිනවලදී අළුයම් කාලයේ මෙම වනඅලින් ගම් වැදීම හා පිටවීම සිදුවන නමුත් මෙදින පසු රෑ 9 ටත් පෙර අලින් කණ්ඩායම ගම්වැදීම සිදුවීමත් සමග මෙම අනතුර සිදුව තිබෙන බව ය.
මේ අනතුරින් වන අලින් කිහිපදෙනෙකුම බස් රථයේ ගැටී තිබෙන බවත් එම සතුන්ට ද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇති බවට විශ්වාස කෙරෙන බවද පොලීසිය කියා සිටිති. මෙම අනතුරෙන් තුවාල ලැබූ මගීහු කිසිවෙක් රෝහල්ගත කිරීමකින් තොරව සුළු තුවාල ලැබීම විශේෂ වූ සිද්ධියකි. එහෙත් බස් රථය පැදවූ රියැදුරු බරපතළ තුවාල ලබා ඇති බව කැකිරාව පොලිසිය කියයි. අනතුරු සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)