October 16, 2018

දිවිනැගුම දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් වාහනයක් නිසා සිය දිවි තොර කර ගන්න හදන පත්මලතාගේ දුක්බර කතාව (PHOTOS)

රුපියල් හාර ලක්ෂ අසූ දාහක් වටිනා තුන්රෝද යතුරුපැදියක් දිවිනැගුම දෙපාර්තමේන්තුවෙන් ලබා දී තම දිවියම විනාශවීමේ තත්ත්වයට පත්වූ බව මොරගොල්ල බඹරගස්වැව ගලේවෙල ලිපිනයේ පදිංචි පද්මලතා කුමාරිහාමි මහත්මිය කියා සිටින්නිය .

ඇය සිය දරු දෙදෙනාත් සැමියාත් සමග බඹරගස් වැව ප්‍රදේශයේ බේකරියක් පවත්වාගෙන යමින් ජීවත්ව සිටියදී මීට වසර දෙකකට පෙර දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ බේකරි නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා හා ප්‍රවාහනය කිරීම සඳහා අනුග්‍රහය දක්වන බව සඳහන් කොට තිබිණි.

ඒ අනුව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගලේවෙල දිවිනැගුම මූලස්ථාන කාර්යාලය එක්ව පත්මලතා කුමාරිහාමි යන කාන්තාවට රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් රජය මගින් ලබාදී ඇයගෙන් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් ලබාගෙන බේකරි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා වූ තුන් රෝද යතුරුපැදියක් ලබාදී තිබේ.

එම යතුරු පැදිය කොටස් මෙරටට ගෙන්වා සකස් කරන ලද්දකි. එම යතුරු පැදිය මාස ගණනාවක සිට මුල්ලකට දමා ඇත්තේ එහි ක්‍රියාකාරීත්වය සිදු නොවන නිසාවෙන් බව කුමාරිහාමි මහත්මිය පවසන්නීය. තම අතැති මුදල් සියල්ල එය අලූත්වැඩියා කිරීමට වියදම් කළ ද මෙතෙක් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිව තමන් ලබාගත් රුපියල් තුන්ලක්ෂ තිස්දාහක ණය මුදලකට පොලී ගෙවමින් සිටින බව ද ඇය සඳහන් කළාය.

දිවිනගුම උදව් කරන්නට පෙර පිටි ගෝනි එකහමාරකින් බේකරි නිෂ්පාදනය කළ ඇය මේ වන විට පිටි කිලෝ 5ක නිෂ්පාදනය කරමින් දරුවන් දෙදෙනා සහ සැමියා ජීවත් කරන බව කඩා වැටිමෙන් කීවාය.

තමන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ලබාදුන් බවට කුවිතාන්සිය පවා ඇති බව සඳහන් කර සිටින්නීය. දීවිනැගුම කාර්යාලය මඟින් ජාඇල ප්‍රදේශයේ පිහිටි ආයතනයකින් මෙම වාහනය ලබාදුන් බවද එම ආයතනයත් සමඟ කිසිඳු ගනුදෙනුවක් තමන් සිදු නොකළ බවද සියලු ගනුදෙනු සිදු කළේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවද ඇය කියා සිටියාය.

තමන් ණයකාරයෙක් බවට පත්කොට ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම විනාශ කොට දමා වාහනයක් ලබා දී අවසානයේ දී තමන්ට සිඟමන් යෙදීමට තරම් තත්ත්වයට පත්වූ බව ද ඇය පැවසුවාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳව අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසත් වහාම මෙම වාහන ගනුදෙනු පිළිබඳව විමර්ශනයක් පවත්වා සාධාරණය ඉටු කරන ලෙසත්ය.

එසේ සිදු නොවන්නේ නම් තමන් මෙම වාහනය ප්‍රධාන මාර්ගයට දමා ගිනි තබා තමන් ද සිය දිවි හානි කර ගන්නා බවද ඇය හඬා වැටෙමින් කීවාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්. යූ.නිශාන්ත මහතාගෙන් අප විමසීමක් කළෙමු. එහිදී කියා සිටියේ මේ සිද්ධියට තමන් මාස ගණනාවක සිටම මැදිහත්ව ඇයට සාධාරණයක් ඉටුකර දීමට උත්සාහ දරමින් සිටින බව ය. දිවිනැගුම දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහ උපාලි ගුණවර්ධන නමැති වාහනය නිෂ්පාදනය කරන ආයතනයට තමන් ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී දැඩි උත්සාහයකින් දරමින් සිටින බවය.

මේ පිළිබඳව අප වැඩිදුරටත් කරුණු දැනගැනීම සඳහා ගලේවෙල සමෘධි මූලස්ථාන කළමනාකාර ජයතිලක වනිගසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කරුණු දන්නා බවත් එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙම වාහනය හඳුන්වා දී වීයාපෘතිය ක්‍රියාත්මක කළ බවය.

සමෘධි සංවර්ධන අංශයේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ගාමිණී අබේවික්‍රම මහතා ගෙන් ද අප මේ පිළිබඳව විමසීමක් කළෙමු. ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමක් සිදු කළ යුතු බවත් එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දිවයින පුරා මෙම වාහනය පිළිබඳව දැනුවත් කරමින් ව්‍යාපෘති ආරම්භ කළ බවය.

එනිසාම මේ සිද්ධිය සම්බන්ධයෙන් තුන් රෝද යතුරුපැදිය නිෂ්පාදනය කරන ජා ඇල ප්‍රදේශයේ උපාලි ගුණවර්ධන මහතාගෙන් අප විමසීමක් කළෙමු. ඒ මහතා කියා සිටියේ තම ආයතනය මඟින් පිටරටින් අමතර කොටස් ගෙන මෙම වාහනය නිෂ්පාදනය කරන බවයි. මෙවැනි පැමිණිලි ලැබී ඇති බව ද පැවසීය වාහනය අලුත්වැඩියා කර දීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා යන වියදම් ඔවුන් විසින් දැලි දැරිය යුතු බව ද කීවේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)