April 25, 2024

සීගිරියෙන් ඉපැරණි යාග හෝම ගැන විස්තර රැසක් හමුවෙයි (PHOTOS)

සීගිරියේ ඇතුල් දිය අගලේ සිදුකරන කැණීම් වලින් ආදි කාලයේ ආගමික ක්‍රම සහ යාග හෝම ක්‍රම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

සීගිරිය උතුරු ප්‍රදේශයේ මේ දිනවල කැණීම් කටයුතු රැසක් අවසන් වෙමින් පවතින බවත් එහිදී විශේෂයෙන්ම යාග හෝම පැවැත්වූ ස්ථාන මෙන්ම ජලය සම්බන්ධ කරගෙන යම්කිසි ශාන්ති කර්ම හෝ යාග හෝම පැවැත්වූ බවට සාධක රැසක් හමු වෙමින් පවතින බවත් උස්ථානයක ගොඩනැගිල්ලක සිට මෙය නිරීක්ෂණය කිරීම් කරන්නට ඇතැයි විශ්වාසය කළ හැකි ස්ථාන පවා මේ වනවිට හමුවී ඇතැයි ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

පසුගියදා සීගිරිය ප්‍රදේශයේ කැණීම්වලින් හමුවූ සිංහ රුවකට සමාන මැටි රුව පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේ ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා විශේෂයෙන් සීගිරියේ ඉපැරණි යාග හෝම පිළිබඳව මෙම පුවත ප්‍රකාශ කළේය.

උතුරු දිය අගල පෙදෙසේ මේ දිනවල සිදුකරන කැණීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“මෙම ස්ථානයෙන් හමු උන මැටි භාණ්ඩ පිළිබඳව අවධානය යොමු කළාම ඒවා සියල්ල දේශීය ප්‍රභවයක් පවතින ඒවා. ඒ වගේම තමයි මේවා සියල්ල හමුවන්නේ උතුරු දිය අගල ප්‍රදේශයෙන්. මැටි බදුන් හමුවන ස්ථානයට ඉහළින් වේදිකාවක් වැනි ගොඩනැගිල්ලක කොටසක් හමු වෙලා තිබෙනවා අපට හිතන්න ඉඩ තියෙනවා යම් විදියට පූජා විධි ක්‍රමයක් යාග ක්‍රමයක් මෙහි පවතින්නට ඇතැයි කියලා.  මොකද කාශ්‍යප යුගයෙන් පස්සේ සිගිරිය මහායාන බෞද්ධ ආරාමයක් හැටියට තමයි පවත්ව ගෙන ගිහිල්ලා තියෙන්නේ . බෞද්ධ ආරාමයේ කටයුතු කරනකොට එවැනි පූජා විධි ක්‍රමයක් සම්බන්ධ කරගෙන සිදු වුණාද කියන පිළිබඳව සිතා බැලිය යුතුයි. මේ හම්බවෙන්න මැටි බදුන් පිළිබඳව සොයා බැලුවම එවැනි සාධක තමයි හම්බ වෙලා තියෙන්නේ. එය ඉතා වැදගත් කාරණයක්.”

 “ඒ වගේම තමයි මේ සංරක්ෂණ කටයුතුවලදී ඉපැරණි සංරක්ෂණ බැම්මක් මතු කර ගන්නත් පුළුවන්කම ලැබුණා. ඒ වගේම ජල ප්‍රවාහන පද්ධතියක සාක්ෂි රැසක් ද අනාවරණය වුණා. මෙහි උද්‍යාන නිර්මාණය බැලුවොත් ඒ ජල ප්‍රවාහන යත් මෙහි යම්කිසි සම්බන්ධතාවක් පෙන්වනවා .මෙහි විශේෂත්වය තමයි දිය අගල පූජනීය යාතුකර්ම ක්‍රම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. පරීක්ෂණය කළ යුතුයි බටහිර ප්‍රදේශයේ දැනට ජලය පුරවා කරන එම ක්‍රියාවලියම ප්‍රදේශයේ ජලය රැස් කරලා සිදුකරන්නට ඇතැයි යන විශ්වාසය පවතිනවා. එහෙම උනොත් ලගදීම සංචාරකයන්ට ලෝකවාසී ජනතාවට එම ප්‍රදේශය දැක බලාගන්න මේ ඉපැරණි යාග හෝම පිළිබඳව දැනුවත් වෙන්න හැකියාව ලැබෙයි. ඒ වගේම තමයි සීගිරියේ හැමදාම අලුත් දෙයක් සොයා ගන්නවා දිනෙන් දින සීගිරියේ තොරතුරු අලුත් වෙනවා. ඒ නිසා තවත් කැණීම් කටයුතු අපි නවත්වල නැහැ.”යැයිද වැඩිදුරටත් පැවසීය.

 (දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)