April 20, 2024

දෙමාපිය පිහිට අහිමි දරුවෙක් දඹුල්ල බස් නැවතුම්පලේ (PHOTOS)

දෙමාපියන්ට එපා වූ දරුවෙකු දින තුනක් දඹුල්ල බස් නැවතුම්පොලේ සිටිය දී දඹුල්ල පොලිසිය සොයා ගෙන රැකවරණය ලබා දුන් පුවතක් පසුගියදා වාර්තා විය.

දඹුල්ල බස් නැවතුම්පොලේ දින තුනක පමණ කාලයක සිට වයස අවුරුදු 12 ක් 15ත් අතර වයසක පසු වන කුඩා පිරිමි දරුවෙකු තනිව සිටින බවත් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට පෞද්ගලික දුරකථනයට තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් නගරයට ගොස් එම ස්ථානයේ සිටි දරුවා පොලිසිය වෙත රැගෙන එන්නට වූහ.

දඹුල්ල බස් නැවතුම්පොළ පිටුපස සිටි තරුණයන් පිරිසක් මෙම දරුවා ආරක්ෂා කර ගෙන ආහාර පාන එදින ලබා දී පොලිසිය පැමිණෙන තුරු රැක බලා ගෙන සිටීම තවත් විශේෂ කරුණකි.

මෙම දරුවාගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පාසල් නොයවා සිටි මෙම දරුවා අවස්ථා කිහිපයකදීම ළමා නිවාස වලට සහ පන්සල් වලට දෙමව්පියන් විසින් රැගෙන ගොස් දමා තිබුණු බවය.

එමෙන්ම දරුවාගෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කළ විමසීම්වලදී කියා සිටියේ තම පියා මවට සහ තමන්ට පහර දී නිවසින් පන්නා දමන බවය.

අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී සිටින පියාගෙන් බේරීම සඳහා තමන් නිවසෙන් පිටව ගිය බව සඳහන් කළේය.

මෙම පිරිමි දරුවා ඇඳ සිටි ඉරී ගිය ඇඳුම් කිහිපය ඉවත් කොට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සිය පෞද්ගලික ධනයෙන් මෙම දරුවාට ඇඳුම් පැළඳුම් මිලදී ගෙන ලබා දීම විශේෂත්වයකි.

දරුවාගේ එකම ඉල්ලීම බවට පත් වූයේ පන්සලකට හෝ ළමා නිවාසෙකට ගොස් ජීවත්වීමට කැමැත්තක් ඇති බව සඳහන් කළේය .

මෙම දරුවන්ගේ දෙමව්පියන් පොලීසියට කැඳවා වුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කොට අධිකරණයට කරුණු වාර්තා කොට මෙම දරුවාගේ ආරක්ෂාව පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Monday, 19 March 2018 09:24