April 20, 2024

අමානි දැරියගේ ඉල්ලීම ඉටුකරමින් ජනපති ඇයගේ බදුල්ල නිවසට (PHOTOS)

අවුරුදු 07 ක් වයසැති එම්. එන්. අමානි රායිදා කුඩා දැරිය සිය දෙමව්පියන් සමග පසුගියදා බදුල්ලේ සිට කොළඹට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමටය.

කිසිවෙකුට නොදන්වා ආ මේ ගමනේදී ජනාධිපතිවරයා හමුවේයැයි දැරිය හෝ ඇයගේ දෙමාපියන් මඳකටවත් විශ්වාස නොකළ අතර, කුඩා දැරියක් තමා හමුවීමට ආශාවෙන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටින බව දැනගත් ජනාධිපතිවරයා කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තම ආරක්ෂක නිලධාරීන් යවා දැරිය තමා අසලට ගෙන්වා ගනිමින් ඇයගේ ආගිය තොරතුරු විමසුවේය.

මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිවරයා සමග පිළිසඳරක නිරත වූ දැරිය තමා අතින් ඇඳි චිත්‍රයක්  ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා  පමණක් නොව බදුල්ලට පැමිණෙන්නේ නම් තම නිවසට ද එන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය. එපමණක් නොව පැමිණෙන්නට පෙර දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස ද ඇය ජනාධිපතිවරයාට කීවේ සුරතල් බසිනි.

දැරියගේ ඉල්ලීම ඉවත නොදැමූ ජනාධිපතිවරයා ඊයේ දින බදුල්ලේ පැවති ජනහමුවට සහභාගී වීමෙන් අනතුරුව ඇයගේ නිවසට ද ගොඩ වැදුණේ කෙතරම් කාර්ය බහුල වුවද කුඩා දැරියගේ ඉල්ලීම ඉවත දැමීමට තිබූ අකමැත්ත නිසාමය.

තම යහළු යෙහෙළියන් සමග ජනාධිපතිවරයා පැමිණෙන පෙරමග බලා සිටි අමානි රායිදා කුඩා දැරිය තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තාය.

දැරිය ඉදිරිපත් කළ ගීතයක්  රසවිඳිමින් සහ කුඩා දරු දැරියන් සමග ගීත ගායනයකට ද එක්වෙමින් ළමා ලොව සොඳුරු අසිරිය මැද මොහොතක් ගත කළ ජනාධිපතිවරයා කුඩා දරු දැරියන්ට සමුදුන්නේ නැවතත් කොළඹ පැමිණෙන විට තමා බලන්න එන්නැයි ඔවුන්ට සෙනෙහෙබර ඇරයුමක් ද කරමිනි. 

 02

03

04

Rate this item
(0 votes)