April 19, 2024

බද්ධ කිරීමට අවශ්‍ය අවයව ගුවනින් ගෙන්වා කළ විශ්මිත සැත්කම (PHOTOS)

හිසෙහි නහරයක් පිපිරීයාමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ 35 හැවිරිදි තරුණයෙකුගේ අක්මාව සහ වකුගඩු දෙක ලබා ගනිමින් තවත් රෝගීන් තිදෙනෙකුට එම අක්මාව සහ වකුගඩු කොළඹ ජාතික රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී බද්ධ කර ඇත.

මෙම රෝගියාගේ අක්මාව කොළඹට කඩිනමින් ගෙනඒම සදහා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් පොළොන්නරුවට යැවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබුනි. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

අක්මා බද්ධයක් සදහා අවශ්‍ය අක්මාව කිසියම් රෝගියෙකුගෙන් ලබාගෙන අනෙක් රෝගියාට බද්ධ කිරීම සදහා කඩිනමින් රැගෙන ආ යුතු වෙයි. එම නිසා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් යොදා ගැනීමට සිදුවිය. මෙම අක්මා බද්ධය සිදු කරන ලද්දේ කොළඹ ජාතික රෝහලේ දීය. 56 හැවිරිදි පුද්ගලයෙකුට එම අක්මා බද්ධය සිදු කර ඇති අතර, එම රෝගියා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. වකුගඩු දෙක බද්ධ කරන ලද්දේ මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුට ය.

මේ පිළිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බද්ධ කිරීම් සදහා අවශ්‍ය අවයව ගුවනින් ප්‍රවාහනයට ඉදිරියේ දී කටයුතු කරන බවයි. ඒ පිළිබදව ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියහ.

 

Rate this item
(0 votes)