December 15, 2017

'ලංකංව කියන්නේ තමිල්නාඩුවෙන් භාගයයි..ඒත් කණ්ඩායම් 23යි'..මහේල සංගාගේ යෝජනාව සහතික කරමින් ඉන්දියානු ප‍්‍රවීණයා කියපු කතාව මෙන්න..

පිතිකරුවන්ගේ නීරස පිති ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සමඟ නාග්පුර් හී පැවැති දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 239 ක පරාජයක්‌ අත්වින්දේය. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය 1-0 ක්‌ ලෙස ඉන්දියානුවන් පෙරමුණ ගැනීමට සමත් විය.

අදාළ පරාජය ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ලද දැවැන්තම පරාජය බවට පත්වෙද්දී ඉන්දියානුවන්ගේ විශාලතම ටෙස්‌ට්‌ ජය ලෙස එය සටහන් විය. මීට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේදී 2001 දී ඉනිමක සහ ලකුණු 229 කින් දැවැන්තම පරාජය ලබා තිබුණි. 1993 දී දකුණු අප්‍රිකාව හමුවේ ඉනිමක සහ ලකුණු 208 කින්ද 2012 වසරේදී ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 201 කින්ද ශ්‍රී ලංකාව පරාජය වූ දරුණුතම පරාජයන් ලෙස වාර්තා වේ. 1982 සිට ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්‌ට්‌ තරග 266 කදී ලද සිය වැනි පරාජයද මෙය වූ අතර එහිදී ජය ලබා ඇති ජයග්‍රහන සංඛ්‍යාව 84කි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම විනාශ කර දැමීමට ඉන්දියානු පන්දු යවන්නන්ට වැය වූයේ පැය තුනකටත් අඩු කාලයකි. තමන්ගේ රාජකාරිය කුමක්‌ද යන්න නොදන්නා ආධුනිකයන් මෙන් පිති හැසිරවූ ශ්‍රී ලංකා පිලේ කඩුලු හතක්‌ ඊයේ දිවා ආහාරයට ප්‍රථම පැය දෙකක කාලයේදී බිඳ වැටුණි. අනතුරුව දිවා ආහාරයෙන් පසුව යවන ලද පන්දු ඕවර අටක්‌ තුළදී ශ්‍රී ලංකා සමස්‌ත ඉනිම විනාශ වෙද්දී දරුණුතම පරාජයේ කළු පැල්ලම පමණක්‌ ශ්‍රී ලංකාවට ඉතිරිව වූයේ තවත් දිනයක්‌ ඉතිරිව තිබියදීය. වසරක්‌ තුළ ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරග හතක්‌ පරාජය වූ දෙවැනි අවස්‌ථාවද මෙය වේ. මීට පෙර 2005 දීත් ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරග හතක්‌ පරාජය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගයේ කිසිදු තරගකාරිත්වයක් නොදැක්වූ අතර ඒ ගැන ක්‍රීඩා විචාරකයන් දැඩි විවේචනයන් ද එල්ල විය.ඉන්දියානු ප්‍රවීණ ක්‍රිකට් විචාරක සන්ජේ මන්ජ්රේකර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව දිගින් දිගටම මෙලෙස පරාජයවීමට හේතුව ලෙස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහයේ දුර්වලතා බව පෙන්වා දුණි.“ශ්‍රී ලංකාවේ ප්‍රමාණය තමිල්නාඩුවේ භාගයක් විතර නමුත් පළමු පෙළ කණ්ඩායම් 23ක් තිබෙනවා, එතනයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලුව” යනුවෙන් ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබිණි.

අවස්ථා ගණනාවක ශ්‍රී ලංකාවේ මෙම පළමු පෙළ තරග ව්‍යුහය වෙනස්කර කණ්ඩායම් අඩු ප්‍රමාණයක් ක්‍රීඩා කරන දැඩි තරගකාරී තරගවලියක් පැවැත්විය යුතු බවට හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ද මීට ඉහත දී යෝජනා කර ඇත.

කෙසේ වෙතත් කණ්ඩායම් 20 වඩා ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ 2017/18 පළමු පෙළ තරගවාරය දැන් ආරම්භවී ඇති අතර එහි පළමු තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය සංචාරයේ ආරම්භක පිතිකරු කෞෂල් සිල්වා ශතකයක් රැස් කර තිබුණි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල අදහස් පළකරමින් ක්‍රීඩා ලෝලීන් පවසා තිබුණේ මෙවන් දුර්වල තගකාරිත්වයක් ඇති තරගාවලියක දක්වන දක්ෂතා අනුව ක්‍රීඩකයන් කණ්ඩායමට කැඳවීමෙන් ඔවුන් ජාත්‍යන්තර තරගවල අසාර්ථක වන බවය.

(දිවයින ඇසුරෙන්)

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 December 2017 10:26