December 15, 2017

ලංකාවේ ක්‍රිස්ටියානා විශ්ව රූ රැජින තරගයේ අවසන් 16ට

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රිස්ටියානා පීරිස් සමත් වූවාය. එම තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී පෙරේදා (26) රාත්‍රියේ නිමාවට පත් වීය.

විශ්ව රූ රැජින තරගාවලියේ කිරුල දකුණු අප්‍රිකාවේ ඩේමි ලෙයි හිමි කර ගත්තාය.

1955 වසරේදී විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි අනුශුරතාව දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට එම තරගාවලියේ ඉහළ ස්ථානයක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

ක්‍රිස්ටියානා  23 හැවිරිදි වියේ පසුවන්නීය. ඇය මෝස්‌තර නිරූපිකාවක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කටයුතු කරන්නීය.

එයින් ලැබෙන මුදලින් අඩක් ඇය පිළිකා රෝගීන් වෙනුවෙන් ද යොදවයි. ඇයගේ මව මෙන්ම ආච්චි හා සියා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිකා හේතුවෙනි.

ක්‍රිස්ටියානා 2017 වසරේ විශ්ව රූ රැජින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවති තරගයේ ජයග්‍රාහිකාවද වන්නීය.

Rate this item
(2 votes)