March 29, 2024

සැමියා ඝාතනය කළ දෙවැනි බිරිද පොරොවත් රැගෙන පොලීසියට යයි

November 17, 2017

හබරණ ප්‍රදේශයේ කාන්තාවක් සිය සැමියාට පොරවකින් කොටා ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ලක්සිරිගම, හබරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් වූ නෙළුම් සංජය විතානගේ යන අයෙකි.

අද (17) අලුයම 4.15 පමණ මෙම අඹුසැමි යුවල අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙය සිදු වී ඇති අතර බරපතල තුවාල ලැබූ සැමියා හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබිණි.

ප්‍රදේශයේ පවසා ඇත්තේ මෙම යුවල නිතරම ගුටි බැට හුවමාරු කර ගන්නා බවයි.

ඊයේ සවස 3ට පමණ මෙම ආරවුල ආරම්භ වී ඇති අතර එම නිසා මියගිය පුද්ගලයා විසින් සිය දරුවන් සිව් දෙනා රැගෙන ගොස් බිරිඳගේ සොහොයුරාගේ නිවසේ නවත්වා තිබිණි.

පසුව අඹුසැමියන් අද අලුයම වනතුරු ගුටිබැට හුවමාරු කරගෙන තිබේ.

ඔවුන් දෙපළට සිව් හැවිරිදි කුඩා දරුවෙකු සහ 22 හැවිරිදි වැඩිමහල් දරුවෙකුද සිටින අතර පාසල් වයසේ පසුවන දරුවන් දෙදෙනෙකුද සිටියි.මෙම යුවල හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හෝටලයක් පවත්වාගෙන යන බව වාර්තා වේ.

45 වියැති සැකකාර කාන්තාව සැමියා ඝාතනය කිරීමෙන් පසු පොරවත් රැගෙන පොලීසියට පැමිණ ඇති බවත් තමන් සිය සැමියා පොරොවෙන් තමන්ට පහර දීමට පැමිණි විට එය ඔහුගෙන් උදුරාගෙන මෙම අපරාධය සිදු කළ බවත් ඇය පාපොච්චාරණය කර ඇත.

මියගිය පුද්ගලයාගේ මීට පෙර විවාහයක් අසාර්ථක වී ඇති අතර මෙය ඔහුගේ දෙවන විවාහය බවත් ඔහු යුධ හමුදා සේවයේ යෙදී සිට ඉවත් වූ අයෙක් බවත් පොලීසිය පවසයි.

බිරිඳ හබරණ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)