March 28, 2024

දෑවැද්දට නයිපෙට්ටිය සමඟ වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු තෙලිගු විවාහය (PHOTOS)

November 14, 2017

මසන්නාගේ මල්කාන්තිට වයස අවුරුදු 19 කි. ඇය 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර සමග පසුගිය දා විවාහයට පත්වූයේ තෙළිගු සම්ප්‍රදායක චාරිත්‍රවලට අනුවය. තෙළිඟු භාෂාවෙන් විවාහය යනු “ පෙන්ලි සේස්තාව්“ නම් වෙයි.

පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රඹන් ගසා පිලිගත්තේ රැහේ වැඩිහිටියන් විසිනි වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කල මුදු මාරුවක් සිදුවෙයි මනමාලියගේ ගෙල බැඳෙන්නේද පබළු මාලයකිනි.

පැරැණි සිරිතට අනුව නිවැරැදිවම සිදුවනවා නම් මොල් ගස් දෙකක් හරහා දමා ඒමත සිටගෙන සිටින යුවල ඇඹරූ සුදු හාල් මිශ්‍ර ජලයෙන් නහවා මෙම මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බව නොච්චිකුලම ගම්මානයේ ප්‍රධානියෙකු වන ඒ.මසන්නා මහතා පැවසුවේය.

රත්තරන් මාල බැඳීමක් හෝ මුදුමාරුවක් නොවන බවද ඔහු පවසයි. වර්තමානයේ සමහර දේවල් දුරස්ව ඇති බව පවසන ඔහු තමන්ට පුළුවන් විදියෙන් පාරම්පරික සිරිත් විරිත්ඉදිරි පරම්පරාවට ගෙන යාමට උත්සව අවස්ථාවල කටයුතු කරන බවද පැවසීය.

වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නොච්චිකුලම ගම්මානය මෙම තෙලිගු ජන කොටස ජීවත්වන එකම ගම්මානයයි. එහි පවුල් 54 ක් පමණ මේවන විට ජීවත්වන අතර ඔවුන්ට අනුව ඔවනුගේ ජාතිය හා භාෂාව තෙළිඟුය . ඇතැමෙක් තමන්ගේ ජාතිය වඩිග බවද කියයි.මොවුන් දැන් සම්ප්‍රදායික හැකියාවන්වූ රිලා නැටවීමෙන් නයි නැටවීමෙන් සාස්තර කීමෙන් දුරස්වෙමින් සිටී.

ගෙවතු වගාවට හා මාළු ඇල්ලීම වැනි රස්සාවලට යොමුවනවා මෙන්ම ඇතැමෙක් ඇවිදීමෙන් භාණ්ඩ අලෙවිය වැනි කටයුතුවලද නිරතව සිටිති. එහෙත් තවමත් ඔවුන් තවමත් තම සම්ප්‍රදායන්ට ගරුකරමින් ජීවත්වන අතර මෙම විවාහ උත්සවය පසුගියදා සිදුවූයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ජානක මහතා ප්‍රධාන නිලධාරි පිරිසක් හමුවේය.

විවාහයෙන් පසුව පැල්කොටයට මනමාල යුවලට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක් සමග නයි පෙට්ටියක් හා වඳුරෙකි ඒ ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මග පාදා දිමක් බව ගමෙහි පදිංචි එම් . තිම්මන්නා පවසයි.

මනමාලයාගේ මව පවසන්නේ මෙම විවාහය ගැන හැමෝම සතුටු වන බවයි. මෙය කතාබහ කොට ඇතිකරගත් විවාහයක් බවද ආර්. ලලිතා (42) පැවසුවාය.

මනමාලියගේ මව මසන්නාගේ මසක්කා (54) පවසන්නේ තමන්ගේ තුන්වන දියණිය ගේ මංගල්‍ය ගැන රැහේ හැමෝම සතුටෙන් සිටිවා සේම ඔවුන්ට ඔවුන්ට හැමෝගේම ආශිර්වාදයද ලැබී ඇති බවයි.

නයි නලාව වයමින් හා රඹන් ගසමින් අත්පුඩියෙන් හා නැටුමෙන්ද මෙම විවාහ උත්සවය අලංකාරවත්ය ගමේ හැමෝම මඟුල් අසිරිය විඳිමින් සතුටුවන අයුරු දක්නට ලැබේ. මේ සියල්ලන් කියාපාන්නේ තවමත් ඔවුන්ගේ ජනවර්ගය තුළ නොනැසී පවතින සමගියේ යහ ලකුණකැයි සඳහන් කල හැකි බවටයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 November 2017 13:14