April 19, 2024

සංගීත ඉතිහාසය වෙනස් කළ බැද්දගේ සූරීන්ගේ ප්‍රාර්ථනා ගීතය (VIDEO)

බොහෝවිට නළු නිළියන්ගේ, දේශපාලඥයින්ගේ උපන්දිනයන් වෙනුවෙන් මාධ්‍යයන්ගේ කැමරා ඇස යොමුවුවත් අප රටේ දැනටත් ජීවත්ව සිටින දැවැන්ත, වටිනාම මිනිසුන් වෙත මාධ්‍ය යොමුනොවන්නේ රටේ අභාග්‍යයටද යන්න ගැටළුවකි.

රෝහණ බැද්දගේ සූරීන් වර්තමාන සිංහලයාට මුණගැසෙන සිංහල ජන සංගීතයේ හා ජනශ‍්‍රැතියේ වර්තමාන නායකයා ලෙස හැදින්විය හැකිය. එතුමාගේ 83 වෙනි ජන්ම දිනය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් රෝහණ බැද්දගේ සූරීන් විසින්ම රචනා කරන ලද ගීත නිර්මාණයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

"පෙරකල පින්" ලෙස නම්කර ඇති මෙම ගීතයෙහි සුවීශේෂීත්වය ඇත්තේ එහි සංගීතයෙහි හා ගී තනුවේය. මෙම ගීත නිර්මාණය කර ඇත්තේ "සිංසර සප්තකය" යෙනි. සිංසර සප්තකය යනු අපට ඇසෙන සමාන්‍ය ස්වර සප්තකයට වඩා වෙනස් සප්තකයකි. එය නිර්මාණය කර ඇත්තේ සිංහල ගැමි ගීතයට අනුවයි.

සිංසර සප්තකයේ ස්වරවල සංඛ්‍යාතය, සමාන්‍ය ස්වර සප්තකයේ සංගීතවල සංඛ්‍යාතවලට වඩා වෙනස්වන අතර එය නිර්මාණය කර ඇත්තේද රෝහණ බැද්දගේ සූරීන් විසිනි.

එමෙන්ම මෙම සංගීතය වාදනය කිරීම සඳහා සාමාන්‍ය සංගීත උපකරණ වලින් නොහැකි අතර මෙම සප්තකය සඳහාව වෙනමම සංගීත භාණ්ඩ සුසර කළ යුතුය.

ඒ අනුව ගත් කළ සිංසර සප්තකයෙන් නිර්මාණය කරන ලද අන්තර්ජාලයට නිකුත් වූ ප්‍රථම ගීතය ලෙස "පෙරකල පින්" ගීතය හැඳින්විය හැකිය.

මෙම ගීතය සඳහා සංගීතය නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ඇත්තේ විමුක්ති සිරිමාන්න සහ මිරාන් තරිඳු යන තරුණ සංගීතඥයින් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි.

ගුරුවරයකු, පර්යේෂකයකු, ගීත රචකයකු, සංගීතඥයකු, ගායකයකු, නිර්මාණ අධ්‍යක්ෂවරයකු ලෙස ද සිංහලකම ගැබ් වූ මිහිරි හඩක් ඇති සිංහලයේ මහා දැවැන්තයෙක් වන බැද්දගේ සූරීන් හට සිංහල කලා සමාජයේ ප‍්‍රබුද්ධයෝ ගෞරව ප‍්‍රණාම දක්වති.

මෙම ගීතය තුළින් බැද්දගේ සූරීන් උපන්දින ප්‍රාර්ථනය වන්නේ "ආයෙත් නම් උපදින්ට එපා" යනුවෙනි. බෞද්ධයෙකු ලෙස ඔහුගේ ප්‍රාර්ථනාව සාධාරණ වුවද ඔහු වැනි සිංහල ජන සංගීතය වෙනුවෙන් තම දිවියම කැප කරමින් ඒ සඳහා ඇප කැප වූ පුද්ගලයින් අනාගතය බිහි වේවිද යන්න බිය විය යුතු කරුණක් වන අතර එසේ වුවහොත් ඔබගේ ප්‍රාර්ථනය සමඟින් සිංහල ජන සංගීතයද වියැකෙනවා නොඅනුමානයි.

රෝහණ බැද්දගේ මහා කලාකරුවාණෙනි ඔබට සුබ උපන්දිනයක් වේවා !!!

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)